ෆිනෑන්ෂල් ටයිම්ස් (The Financial Times) පුවත්පත ඉකුත් බදාදා ප්‍රකාශයට පත් කළ වාර්තාවකට අනුව, මැදපෙරදිග පිහිටි අමෙරිකානු කඳවුරුවලට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරානය චීන ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් භාවිතා කර ඇත.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අභ්‍යවකාශ බලකාය 2024 අගභාගයේදී මෙම නවීන TEE-01B ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව චීනයෙන් ලබාගෙන ඇති අතර, ඒ සඳහා දළ වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 36.6 ක මුදලක් ගෙවීමට එකඟ වී ඇති බව එම වාර්තාව පවසයි.
මෙම ගනුදෙනුව සඳහා ගෙවීම් කර ඇත්තේ චීන රෙන්මින්බි (Renminbi) මුදලිනි.
කාලසටහන්ගත කරන ලද පිහිටුම් ලැයිස්තු, චන්ද්‍රිකා ඡායාරූප සහ කක්ෂීය විශ්ලේෂණ මගින් පෙන්නුම් කරන්නේ, ඉරානය විසින් අදාළ ස්ථාන ඉලක්ක කිරීමට පෙර සහ පසුව මාර්තු මාසයේදී ප්‍රධාන අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට ඉරාන අණදෙන නිලධාරීන් මෙම චන්ද්‍රිකාව භාවිතා කර ඇති බවයි.
සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර, ජෝර්දානයේ මුවාෆක් සල්ටි ගුවන් කඳවුර, බහරේනයේ මැනාමා හි පිහිටි අමෙරිකානු පස්වන නාවික බලඇණියට ආසන්න ස්ථාන සහ ඉරාකයේ අර්බිල් (Erbil) ගුවන් තොටුපළ යන ස්ථානවල අමෙරිකානු හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට මෙම චන්ද්‍රිකාව භාවිතා කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
විශේෂයෙන්ම, ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත ලබාගත් ලේඛනවලට අනුව, මාර්තු 13, 14 සහ 15 යන දිනවල ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර නිරීක්ෂණය කර ඇත. මාර්තු 15 වන දින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කළේ එම කඳවුරේ තිබූ අමෙරිකානු යුද ගුවන් යානාවලට ප්‍රහාර එල්ල වී ඇති බවයි.




