“ඒහිපස්සිකෝ” ලෙස නම් කර ඇති සාම පාගමන අද උදෑසන ආරම්භ වනවා.

ඒ දඹුල්ල පූජා නගරයෙන්.

ඒ වෙනුවෙන් ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ 13 නමක් එක්වනවා.

දඹුල්ලෙන් ආරම්භ වන සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා ලබන 28 වන දා නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතයි.

මෙම සාම පා ගමනට සහභාගි වන භික්ෂුන් වහන්සේ ඊයේ පස්වරුවේ ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී සහ රුවන්වැලි මහා සෑය අභියසදී විශේෂ ආගමික වතාවත් සිදු කර සාම පාගමනට ආශිර්වාද ලබා ගැනීම සිදු කලා.

එහිදී අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ජය ශ්‍රී මහා බෝධින්වහන්සේගේ අංකුරයක් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ වෙත පූජා කළා.

සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත පූජා කිරීමටද නියමිතව තිබෙනවා.