බටහිර- මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ඔර්නබ් ප්රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ‘ඉතා ප්රබල සුළි කුණාටුවක්‘ බවට පත්ව ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අද අලුයම 02.30 වන විට එය කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්රගතව පැවති බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
එය අද පස්වරු 05.30 දක්වා බටහිර බරව වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ පවතිනවා.
ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කරමින්, හෙට පෙරවරු 11.30 වන විට ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් අපේක්ෂා කෙරෙනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්යා දෙපාර්තාමේන්තුව පැවසුවේ.
මෙම ප්රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
නැගෙනහිර පළාතේ පස්වරු 1.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පැවසුවා.
එමෙන්ම මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.




