ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුර ප්‍රදේශයේ ගැටුම් තවදුරටත් උග්‍ර වී තිබෙනවා.
පලස්තීන බලධාරීන් පවසන්නේ ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් එරට මුස්ලිම් පල්ලි දෙකකට, රථවාහනවලට සහ වගා බිම්වලට ගිනි තබා හානි සිදුකර ඇති බවයි.
ඉකුත්දා ‘තාල්‘ ගම්මානය අසලදී පලස්තීනුවන් සහ ඊශ්‍රායල පදිංචිකරුවන් අතර ඇති වූ ගැටුමකින් පලස්තීන ජාතිකයින් සිව්දෙනෙකු සහ ඊශ්‍රායල ජාතිකයින් දෙදෙනෙකු මිය ගියා.
ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් මුස්ලිම් පල්ලිවලට, රථවාහනවලට සහ වගා බිම් වලට ගිනි තබා ඇත්තේ ඊට පළිගැනීමක් ලෙස බවටයි සැක කෙරෙන්නේ.
ප්‍රහාරයට ලක්වූ එක් මුස්ලිම් පල්ලියක තවමත් ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පැවති අතර, එහි තාප්පවල ”පළිගැනීම” යනුවෙන් ලියා තිබුණු බවයි විදෙස් වාර්තාවන්ගේ සඳහන්.
මේ අතර ‘කුස්රා‘ සහ ‘කෝර්‘ ඇතුළු ගම්මාන කිහිපයකටම කඩා වැදුණු පිරිස් නිවාස සහ දේපළවලටද දැඩි හානි සිදුකර තිබෙනවා.
මෙම ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.
දින දෙකක් තිස්සේ කෙරුණු මෙහෙයුම්වලින් 130 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔවුන් පැවසුවා.
එසේ තිබියදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ ඊශ්‍රායල ජාතිකයින් ඝාතනය කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එයට අදාළ පලස්තීන ජාතිකයින්ගේ නිවාස පවා කඩා දමන බවට ඔහු තර්ජනය කර තිබෙනවා.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ගාසා තීරයේ යුද්ධය ආරම්භ වූ තැන් පටන් බටහිර ඉවුරේ ප්‍රචණ්ඩත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
ගැටුම් හේතුවෙන් මේ වන විට පලස්තීන ජාතිකයින් 1,100කට වැඩි පිරිසක් සහ ඊශ්‍රායල ජාතිකයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එක්සත් ජාතීන්ගේ වාර්තාවල සඳහන් වනවා.




