ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ වනවා.

එය ඔක්තෝබර් 04 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමටයි මේවන විට සියලු කටයුතු සූදානම් කර ඇත්තේ.

දේශීය හා විදේශීය ප්‍රකාශකයින් රැසකගේ කුටි 475කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත වන මෙම පොත් ප්‍රදර්ශනය, දිනපතා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මහජනතාව සඳහා විවෘතව තැබෙනු ඇති.

සාහිත්‍ය මාසයට සමගාමීව පැවැත්වෙන දකුණු ආසියාවේ විශාලතම පොත් ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙම ප්‍රදර්ශනය සඳහා දින 10ක කාලය තුළ ලක්ෂ සංඛ්‍යාත පාඨකයින් පිරිසක් පැමිණෙනු ඇතැයි සංවිධායකයින් අපේක්ෂා කරනවා.

පොත්පත් සඳහා විශේෂ වට්ටම් ලබාගැනීමට මෙන්ම නවතම පොත් එළිදැක්වීම්, ලේඛක හමුවීම් ඇතුළු විශේෂාංග රැසක්ද මෙවර ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබෙනවා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සදහා මෙවරද නිල රේඩියෝව ලෙස කටයුතු කරන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

නෙත් එෆ් එම් රේඩියෝව මගින් ද ප්‍රදර්ශණ භූමියේ විශේෂ කුටියක් ස්ථාපිත කර ඇති අතර එහිදීද ඔබට සුවිශේෂී අත්දැකීමක් ලබා දීමට අප සූදානම්.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නෙත් කුටියේ සිදුවන්නේ කුමක්ද? මේ, ඒ පිළිබද කරුණු දැක්වූ නෙත් එෆ් එම් රේඩියෝවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුනිල් ශාන්ත ද සිල්වා මහතා.

''කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට ආරම්භ වන අතර එහි නිල ගුවන් විදුලිය ලෙස කටයුතු කරන්නේ නෙත් FM අපියි. මෙවරත් සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ පිහිටි නෙත් FM විශේෂ කුටිය තුළ ඔබ වෙනුවෙන්ම සුවිශේෂී හඬ පරීක්ෂණ මැදිරියක් අප සූදානම් කර තිබෙනවා. පාසල්වල නිවේදන, ප්‍රවෘත්ති නිවේදන, ගායන මෙන්ම හඬ කැවීමේ හැකියාවන් ඇති ඔබේ දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන, ඔවුන්ට ඉදිරියට යෑමට අත්වැලක් වීමයි අපගේ අරමුණ. ඒ අනුව පොත් ප්‍රදර්ශනයට පැමිණෙන ඔබට, ඔබේ දරුවන්ද කැටුව අපගේ නෙත් FM කුටිය වෙත පැමිණ මෙම හඬ පරීක්ෂණයට යොමු විය හැකියි. එහිදී දක්ෂතා දක්වන දරුවන්ට ඉදිරියේදී නෙත් FM ළමා වැඩසටහන් සඳහා සම්බන්ධ වීමටද අවස්ථාව හිමිවනු ඇති. එමෙන්ම වෙනදා මෙන්ම මෙවරද ක්‍රියාත්මක වන අපගේ "පොත් කැටය" වැඩසටහන සඳහා දායක වීමටද ඔබට පුළුවන්. සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ අපගේ හඬ පරීක්ෂණ මැදිරිය ආසන්නයේම මෙම පොත් කැටය පිහිටා තිබෙනවා. අඩු පහසුකම් සහිත අත්‍යවශ්‍ය පාසල්වල පුස්තකාල වෙත ලබාදීම සඳහා, අලුත් පොතක් මිලදී ගෙන අපගේ පොත් කැටයට පරිත්‍යාග කරන ලෙස නෙත් නිවුස් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. එයින් ඔබේ දරුවන්ට අලුත් අත්දැකීමක් ලබාදෙන අතරම, තවත් අසරණ දරුවෙකුගේ අනාගතය ආලෝකමත් කිරීමට අප හා එක්වන්න.''