ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් අද ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

මෙම අභියාචනා අවසර ඉල්ලුම් පත අද අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගන්නා නඩුවට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ ඉල්ලීමක් කර ඇති බවත් එහි නියෝගය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බවයි.

ඒ අනුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නා.