ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට ආන්ද්‍රා වෙරළ තීරය හරහා ක්‍රමයෙන් ඉන්දියානු ගොඩබිම දෙසට ඇතුල් වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින දෙකේද අපේක්‍ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.
"ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට ආන්ධ්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ක්‍රමයෙන් ඉන්දියානු ගොඩබිම් දෙසට ඇතුළු වෙමින් පවතිනවා. මේ පද්ධතිය දෙසට හමා එන සුළං ප්‍රවාහය තවදුරටත් ශ්‍රී ලංකාව හරහා පවතින නිසා විශේෂයෙන් දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ පළාත් සහ ඒ වගේම දකුණු පළාතේ බොහෝ කොටස්වලට අද දිනයේදීත් දවස පුරාම වගේ කඩින් කඩ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. මේ වන විටත් විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සැලකිය යුතු වර්ෂාපතන... ඒ වගේම මේ වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට සහ අනිද්දා දිනවලත් තවදුරටත් අපි අපේක්ෂා කරන නිසා ඉදිරි කාලගුණ නිවේදන ගැන අවධානයෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම දිවයින හරහා විටින් විට හමන තද සුළං තියෙනවා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40, 50 පමණ තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව පවතින නිසා ඒ සම්බන්ධවත් අපි ජනතාවට අවධානයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා."

මේ අතර ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිත ඇතැම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අධ්‍යක්‍ෂ එල් එස් සූරිය බණ්ඩාර මහතා පැවසුවා.
"මේ නිසා පිටබැද්දර, ඕයාසියම්බලාගොඩ සහ එයින් පහළ පිහිටි අකුරැස්ස, මාලිම්බඩ සහ තවලමගොඩ සහ මාතර ආසන්නයේ පහත් බිම්වල ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ගිං ගඟ ඉහළ ප්‍රදේශයේත් මිලිමීටර් 100ත් 130ත් අතර වර්ෂාපතනයන්, විශේෂයෙන්ම උඩුගම, තවලම, මොරවක, නෙළුව සහ දෙෙනියායට ආසන්නයේ ස්ථාන බොහොමයක මිලිමීටර් 100 ඉක්මවා වර්ෂාපතනය ලැබිලා තියෙනවා. මේ තත්ත්වය යටතේ තවදුරටත් විශේෂයෙන්ම හිනිදුම සහ නාගොඩ, උඩුගම සහ බද්දෙගම, වැලිවිටිය-දිවිතුර ඇතුළු ප්‍රදේශවල ජල මට්ටම් තවදුරටත් වැඩි වෙනවා. මේ තත්ත්වය ගැන දැඩි අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම කරනවා. ගිං ගඟ සහ නිල්වලා ගඟ ආසන්නයේ පහත් බිම්වල සිටින ජනතාව අතිශය සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම බෙන්තර ගඟ සහ කළු ගඟ මිල්ලකන්ද ආසන්නයේ ජල මට්ටමේ යම් පැතිරීමක් පෙන්නුම් කරනවා. සහ රත්නපුර, විශේෂයෙන්ම කුඩා ගඟ ආසන්නයේ තවදුරටත් ජල මට්ටම් ඉහළ යාමේ අවදානම තියෙනවා. කැළණි ගඟ ජල මට්ටම් එතරම් ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නන්නේ නැහැ. මහවැලි ගඟ සහ ඉහළ පෝෂිත ප්‍රදේශයේ ලොකු වර්ෂාපතනයක් දක්නට ලැබෙන්නේ නැහැ. පේරාදෙණිය සහ නාවලපිටිය මැනුම් මධ්‍යස්ථානවල වර්ෂාපතනය සහ ජල මට්ටම් සැලකීමේදී යම් සුළු වැඩිවීමක් පෙන්නුම් කළත් එතරම් තීව්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ.''

මේ අතර ඇද හැලෙන මහ වැසි හමුවේ නිකුත් කර තිබූ නායයෑම් පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනය යළි දීර්ඝ කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජේ්‍යෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ඉමායා ආරියරත්න මහත්මිය පැවසුවේ.
"පසුගිය දිනවල සිට පැවති වර්ෂාපතනයත් කාලගුණික දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති අනාවැකියත් සැලකිල්ලට ගනිමින් අද උදෑසන නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර ඇති අතර, ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර හා නොෝවුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර තුන යටතේ රතු නිවේදනය නිකුත් කර ඇති අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, තවලම, නෙළුව හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත සහ ගඟ ඉහළ කෝරලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, පස්ගොඩ සහ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර දෙක යටතේ අවධානයෙන් සිටින්නේ යන නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ."

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජේ්‍යෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ඉමායා ආරියරත්න මහත්මිය.
"අදියර එක යටතේ විමසිලිමත්ව සිටින්න යන නිවේදනය දිස්ත්‍රික් නමයක් ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 31කට ක්‍රියාත්මක වේ. පසුගිය දිනවල පැවැති වර්ෂාපතනයත් මේ වන විට ඇදහැලෙන වර්ෂාපතනයත් සැලකිල්ලට ගෙන, නායයාම් පූර්ව ලක්ෂණ නිරීක්ෂණය වන ස්ථාන සහ පසුගිය වර්ෂයේ දිට්වා ආපදා අවස්ථාවේදී අවදානමට ලක් වූ... අවදානම් පවතින ස්ථානවල ජීවත් වන සහ වෙළඳාම් කටයුතු, එම මාර්ග භාවිතා කරන පිරිස් අවධානයෙන් ඒ කටයුතු සිදුකරන ගමන්, යම්කිසි අනතුරුදායක අවස්ථාවක් පැමිණියොත් ඒ අවස්ථාවෙකදී හදිසියෙන් ඉවත් වීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ඉල්ලා සිටිනවා."

පවතින අයහපත් කාලගුණයෙන් මහනුවර දිස්ත්‍රික්කයටද බලපැම් එල්ල වී තිබෙනවා. ඒ පිළිබද තවත් තොරතුරු නෙත් නිවුස් මහනුවර නියෝජිත කමල් සූරවීරගෙන්.

මේ වන විට මහනුවර ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර පොල්ගොල්ල ජලාශයේ දොරටු තුනක් අඩි දෙකයි අඟල් තුන බැගින් විවෘත කර තිබෙනවා. එමගින් තප්පරයට ජලය ඝන අඩි 6600ක් වික්ටෝරියා ජලාශයට මුදාහැරෙන බව තමයි කාර්යභාර ඉංජිනේරු තිස්ස බණ්ඩාර මහතා සඳහන් කළේ. එබැවින් පොල්ගොල්ල වේල්ලට පහළින් සිටින ජනතාව, විශේෂයෙන්ම මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව දැඩි කල්පනාකාරීව කටයුතු කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේ. වර්ෂාව තවත් අධික වුවහොත් තවත් දොරටු විවෘත කිරීමට සිදුවන බවයි සඳහන් කළේ. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දීක උඩවත්ත මහතා අද උදෑසන සඳහන් කළා මහනුවර ප්‍රදේශයේ යම්කිසි ආකාරයක ආපදා තත්ත්වයන් උද්ගත වුවත් බරපතල ආකාරයේ ආපදා තත්ත්වයන් මේ වන විට කිසිවක් නැති බවත්, මාර්ග යම්කිසි ආකාරයකින් පස්වලින් වැසී ගියත්, ගස් කඩා වැටී තිබ්බත් ඒවා යම්කිසි ආකාරයකින් පිළිසකර කොට නැවතත් නියමිත ආකාරයෙන් ගමනාගමනයට කටයුතු යොදා ඇති බවයි සඳහන් කළේ. පාසල්වල දරුවන්ගේ පැමිණීම යම්කිසි ආකාරයකින් අඩු බවක් තමයි දක්නට ලැබුණේ. කෙසේ වුවත් මහනුවර ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ සිටම ඇදහැලෙන වර්ෂාව මේ දක්වාම අඩුවීමක් දක්නට ලැබිලා නැහැ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයටද අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. මේ, ඒ පිළිබද තොරතුරු නෙත් නිවුස් කලුතර නියෝජිත චන්දන පෙරේරාගෙන්.

මම මේ මොහොතේ රැඳී සිටින්නේ කළුතර දිස්ත්‍රික්කයේ නාර්තුපාන දේදුනු පාලම ආසන්නයේ. අද උදෑසන සිට වරින් වර කළුතර දිස්ත්‍රික්කයට ධාරානිපාත වැසි වාර්තා වෙනවා. ඒ වගේමයි බදුරලිය, වළල්ලාවිට ප්‍රදේශවලට මේ වන විට පහත් බිම් සියල්ල යට වී තිබෙන බව තමයි අපිට දැනගැනීමට හැකියාව ලැබුණේ. ඒ වගේම කුකුළේගඟ ජලවිදුලි බලාගාරයේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට වරින් වර තද වැසි ඇදහැලෙනවා. මේ වන විට කුකුළේගඟ ජලවිදුලි බලාගාරයෙන් තත්පරයට ඝන මීටර් 110ක ජල ධාරිතාවක් කුඩා ගඟට මුදාහරිනවා. ඒ මුදාහැරීමත් සමඟම බුලත්සිංහල - මෝල්කාව මාර්ගයේ නාලියද්ද ප්‍රදේශය අඩි තුනක් ද, දඹල ප්‍රදේශය අඩියක පමණ ප්‍රමාණයක් ද මේ වන විට ජලයෙන් යට වී ඇති බව තමයි දැකගැනීමට හැකියාව ලැබුණේ. ඒ වගේම කළු ගඟේ ජල මට්ටම ඊයේ දිනට වඩා අඩි එකහමාරක පමණ ජලය වැඩිවීමක් අපට දක්නට ලැබෙනවා. මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළු ගඟ ආශ්‍රිතව පිහිටි යටවර, තලහිටිය, බේගමුව, පනාගොඩ, ගල්පාත, පාතකඩ ප්‍රදේශ තුළ පහත් බිම්, කුඹුරු මේ වන විට යම් ප්‍රමාණයකට ජලයෙන් යට වී ඇති බව තමයි අපට දැකගැනීමට හැකියාව ලැබුණේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ තොරතුරු නෙත් නිවුස් නියෝජිත ජූඩ් සමන්තගෙන්.

"මාස කිහිපයක් තිස්සේ පැවති නියඟය හමාර කරමින් පුත්තලම දිස්ත්‍රික්කයට දැන් දින කීපයක සිට වැසි ඇදහැලෙනවා. ඊයේ රාත්‍රියේ තමයි ධාරානිපාත ලෙස වැසි ඇදහැලෙන්න පටන් ගත්තේ. ඒ වගේමයි කාලගුණය දැඩි ලෙස අයහපත් වී තිබෙන බවක් කියන්න පුළුවන්. මොකද දැඩි ලෙස සුළං ප්‍රවාහයක් තිබෙනවා මේ ප්‍රදේශය හරහා. ඒ නිසා අද හලාවත, වෙන්නප්පුව, පුත්තලම, කල්පිටිය වැනි ප්‍රදේශවලින් එක්දින ධීවරයින්ගෙන් බහුතරයක් මුහුදු ගියේ නැහැ රැකියාව සඳහා. මොකද මුහුදත් රළුයි මේ තියෙන අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟින්. මේ වන විට ජලාශවල ගැටලුවක් නැතුව තමයි පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. අපි කළ විමසීමකදී කියා සිටියේ දැදුරුඔය, රාජංගනය, ඉඟිනිමිටිය හෝ මීඔය, යන්බෝඔය යන ජලාශවල වාන් දොරටු විවෘත කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් තවමත් පැනනැගී නැහැ. ඒ නිසා කිසිදු ආකාරයක බියක් ඇතිවීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. කෙසේ වෙතත් හදිසියේ ආකාරයකට ඉදිරියේදී අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් මේ අයහපත් කාලගුණික තත්ත්වය නිසා, ඒ සඳහා අවශ්‍ය කරන පෙර සූදානමක් මේ වන විට සූදානම් කර ඇති බවත් පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.