කලාශූරී ගුණදාස කපුගේ මහතා විසින් තනු නිර්මාණය කර ගායනා කළ ගීත 20ක්, 'පාලි බාග්‍රා' හෙවත් පාලිත බණ්ඩාර නැමැත්තා විසින් ගායනා කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය අද (13) වාරණ ආඥාවක් නිකුත් කර තිබෙනවා.

​ගුණදාස කපුගේ මහතාගේ බිරිඳ වන ප්‍රේමා කපුගේ මහත්මිය සහ පුත් මිත්‍ර කපුගේ විසින් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත්තේ.

​පැමිණිලිකරුවන්ගේ ලිඛිත අවසරයකින් තොරව අදාළ ගීත වෙනත් පාර්ශවයන් වෙත ලබා දීම ද කොළඹ වාණිජ මහාධිකරණය විසින් තහනම් කර තිබෙනවා.

​“සීතල සඳ එළියේ, දොඹ මල් කැලෑවේ, අහස උසට, බිම්බරක් සෙනඟ, නින්ද නැති රැයේ, දවසක් පැල නැති හේනේ, ඔබ පෙම් කරනා ඔබේ කුමාරි සහ රුවක් ඇදෙනවා” ඇතුළු ජනප්‍රිය ගීත 20ක් මෙලෙස වාරණයට ලක් කර ඇති බව සඳහන්.

​පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ ඉසුරු අබේවික්‍රම මහතාගේ උපදෙස් අනුව පෙනී සිටි නීතිඥ සඳුන් සෙනාධිපති මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, අවසරයකින් තොරව මෙම ගීත, සිය ගීත ලෙස ගායනා කරමින් විත්තිකරු බුද්ධිමය දේපළ හිමිකම් උල්ලංඝනය කර ඇති බවයි.

​මෙම නඩුව නැවත ලබන 27 වැනිදා කැඳවීමට අධිකරණය නියම කර තිබෙනවා.