ස්ථාන කිහිපයක සිදු කෙරුණු වෙඩි තැබීම් සම්බන්ධයෙන් වෙඩික්කරුවෙක් බවට සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කුප්‍රකට දෙහිවල සැන්ඩෝ නැමැත්තාගේ අනුගාමිකයෙකු බවටයි අනාවරණය වී තිබෙන්නේ.

මනුෂ්‍ය ඝාතන තුනක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා පවතින බවටද තොරතුරු තිබෙනවා.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කොට්ටාව පොලීසියේ නිලධාරීන් ක්ෂණික මාර්ග බාධකයක් යොදා සිදුකළ පරීක්ෂාවකදීයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට වැඩි ප්‍රමාණයක්ද සොයාගනු ලැබ තිබෙනවා.

පසුව සැකකරුගේ ජංගම දුරකථනයද නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇති අතර දෙහිවල සැන්ඩෝ නමින් දුරකථන අංකයක් එහි තිබී හදුනාගත් බවයි පොලීසිය පැවසුවේ.

එම දුරකථන අංකය සමඟ ෂැංගී යෙදවුම හරහා කළ හඬ පටයක්ද ඊට අමතරව එම දුරකථන අංකය සමඟ හුවමාරු කළ පණිවිඩ ගණනාවක්ද ජංගම දුරකථනයේ තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සාක්ෂිද සැලකිල්ලට ගෙන අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් එහිදී ඔහු පාපොච්චාරණය කර ඇතැයි සඳහන්.

බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම ඔහු විසින් සිදුකළ බව කියන එක් අපරාධයක්.

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කුප්‍රකට චූවා සමන්තගේ මස්සිනා වෙඩිතබා ඝාතනය කිරීමද ඔහු විසින් සිදුකර ඇතැයි පැවසෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පන්න පන්නා වෙඩිතබා ඝාතනය කිරීමද ඔහු විසින් සිදුකර ඇති බවටයි චෝදනා තිබෙන්නේ.

චූවා සමන්තගේ මස්සිනා වෙඩිතබා ඝාතනය කිරීම සහ ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පන්න පන්නා වෙඩිතබා කෙරුණු මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරු මීට පෙර අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් ඇප මත නිදහස්ව පැමිණ සිටි අවස්ථාවේ බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ වෙඩිතබීම සිදුකර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගෙන සිටින මෙම සැකකරු කලක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කර ඉන් ඉවත් වූවෙකු බවටයි වැඩිදුරටත් තොරතුරු තිබෙන්නේ.

මෙලෙස විමර්ශනවලදී හෙළි කරගත් තොරතුරු සහ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව සැකකරුගේ බැංකු ගිණුම් සහ සැකකරුට සමීප අයගේ බැංකු ගිණුම්ද පරීක්ෂා කර තිබෙනවා.

බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේ කෙරුණු වෙඩි තැබීමෙන් පසුව සැකකරුගේ බිරිඳගේ ගිණුමට රුපියල් ලක්ෂ දෙකක මුදලක් බැරවී ඇති බවයි එහිදී අනාවරණය වී තිබෙන්නේ.

මේ අනුව අපරාධවලට ආධාර අනුබල ලබාදීම යන චෝදනාව මත සැකකරුගේ බිරිඳද අත්අඩංගුවට ගැනුණා.

ඒ, හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්.

දැන් වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මුලින් අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසද පරීක්ෂා කෙරුණා.

එහි සඟවා තිබියදී ජීව අත්බෝම්බයක්ද සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

තවත් මනුෂ්‍ය ඝාතනයක් කිරීමේ අදහසින් එය සඟවා තිබී ඇති බවටයි සැකකෙරෙන්නේ.

කොට්ටාව පොලීසිය විසින් ක්ෂණික මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීද සැකකරු රත්මලාන ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිට ඇති බවට ප්‍රශ්න කිරීම් සහ විමර්ශන වලදී හෙළි වී තිබෙනවා.

මෙම සැකකරු 29 වන වියේ පසුවන්නෙක්. ඔහු කොට්ටාව කුලසෙවන පාරේ පදිංචිකරුවෙකු බවද හඳුනා ගැනුණා.

පසුව අත්අඩංගුවට ගැනුණු ඔහුගේ බිරිඳ 21 වන වියේ පසුවන්නියක්. ඇය පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.