පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.
යුද හමුදා බුද්ධි අංශයේ හිටපු සාමාජිකයින් වන මොහොමඩ් අන්සාර් සහ
ප්‍රේමානන්ද උදලාගම යන අයටද මෙම විදේශ ගමන් තහනම පැනවීමට කටයුතු කෙරුණා.
මෙම නියෝගය ආගමන හා විගමන පාලක ජනරාල් වරයා වෙත දන්වා යවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයේ සඳහන්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අවශ්‍ය මෙම පුද්ගලයන් විදේශ ගත වුවහොත් ඉදිරි විමර්ශන වලට අගතියක් සිදුවිය හැකි බව සඳහන් කළා.
මෙම පුද්ගලයන් විදේශ ගත වීමේ අවදානමක් පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
මෙම සිද්ධියේ තුන්වන සැකකරු ලෙස නම් කර තිබෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා සුරේෂ් සලේ මේ වනවිට රැඳවුම් භාරයේ පසුවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා සිටියා.
ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනෙකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටත් මහේස්ත්‍රාත්වරයා නියම කළා.




