ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින්, එම සංගම්වල පාලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පැවරීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින්.

ඒ අනුව සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති ප්‍රකාරව තමන් වෙත පැවරී ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා අත්පන්දු සංගමය, ශ්‍රී ලංකා කැරම් සංගමය සහ ශ්‍රී ලංකා හොකී සංගමයේ ලියාපදිංචිය එලෙස තාවකාලිකව අත්හිටුවා ඇති බවයි එම ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.

මෙම ක්‍රීඩා සංගම්වල පාලනය, පරිපාලනය හා වෙනත් යම් අත්‍යවශ්‍ය කටයුතු යථායෝගී අයුරින් ඉටු කිරීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ”නිසි බලධාරියා” ලෙස පත් කර තිබෙනවා. ඒ, පසුගිය මැයි මස 19 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදියි.

මෙම පියවර ගැනීමට බලපෑ ප්‍රධාන හේතුන් ලෙස දක්වා ඇත්තේ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරගැනීම, නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා වූ නිලවරණ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සම්පූර්ණ කරගැනීම යන කරුණු සදහා බවයි දැක්වෙන්නේ.