අධිකරණයට අපහාස කළ බවට වරදකරු කරමින් සිර දඬුවම් නියම කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමෙහි ඉතිරි කාලය සම්පූර්ණ කිරීම සඳහා නැවත බන්ධනාගාර ගත කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ විවෘත වරෙන්තුවකට යටත්ව ඉකුත්දා අත්අඩංගුවට ගැනුණු උන්වහන්සේ අද එම අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

අධිකරණයට අපහාස කළ බවට වරදකරු කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කර ඇත්තේ වසර 6ක සිර දඬුවමක්.

එහෙත් සිරදඬුවම සඳහා බන්ධනාගාර ගත කෙරුණු උන්වහන්සේ දඬුවම් කාලය අවසන් වීමට පෙර ජනාධිපති සමාව යටතේ මුදාහැරුණා.

ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටියදීයි.

කෙසේ වෙතත් පසුව පූජ්‍ය ගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් මෙම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කෙරුණා.

පෙත්සම සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත්දා තීරණය කළේ උන්වහන්සේට ලබා දුන් ජනාධිපති සමාව අවලංගු කිරීමටයි.

ඒ අනුව මුලින් නියම කළ සිර දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසිය අධිකරණයෙන් නියෝග ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් මෙම නීති කෘත්‍ය අවස්ථාවේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුවයි උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කෙරුණේ.

අධිකරණය විසින් නිකුත් කරන ලද විවෘත වරෙන්තුවට යටත්ව පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඉකුත් සෙනසුරාදා අත්අඩංගුවට ගැනුණා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළුතර තීනියාවල ප්‍රදේශයේදී.

පසුව උන්වහන්සේ ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර අද දිනය දක්වා උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එහිදී නියෝග කෙරුණා.

ඒ අනුව අද උදෑසන දක්වා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රඳවා සිටියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේයි.

බන්ධනාගාර නිලධාරීන් විසින් පෙරවරුවේ උන්වහන්සේ අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.