පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනුගමනය කළ ක්‍රියාමාර්ගය හෙළා දකිමින් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.
එක්සත් රාජධානියේ උප ප්‍රධාන සංඝ නායක, බර්මින්හැම් මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය විතාරන්දෙණියේ කස්සප නායක ස්වාමීන් වහන්සේගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර තිබෙනවා.
දේශීය හා ජාත්‍යන්තර නීතිය භික්ෂූන් වහන්සේලාට ද පොදු බවත්, නීතිය හමුවේ සාධාරණත්වය ඉටු විය යුතු බවත් සඳහන් කරන එම සංඝ සභාව, මෙයට පෙර භික්ෂූන් වහන්සේලාගේ සිවුරු ගලවා ගිහි ඇඳුම් අන්දවා උසාවියට ඉදිරිපත් කළ ආකාරයක් මාධ්‍ය මගින් දැක නොමැති බව පෙන්වා දෙනවා.
ඥානසාර හිමියන්ගේ සිවුරු ගලවා, ගිහි ඇඳුම් අන්දවා මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීම බහුතර බෞද්ධ ජනතාවගේ සිත් තැවුලට හේතු වූ බවත්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනුගමනය කළ එම ක්‍රියාපටිපාටිය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සහ ඥානසාර හිමියන්ට ලබා දුන් ජනාධිපති සමාව සම්බන්ධයෙන් නීතිය බලපා ඇති ආකාරය පිළිබඳව ද ගැටලු පවතින බව පෙන්වා දෙන සංඝ සභාව, තාක්ෂණික දෝෂයක් නිසා යම් වරදක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමේ සදාචාරාත්මක අයිතියක් වත්මන් ජනාධිපතිවරයාට පවතින බව ද අවධාරණය කර සිටිනවා.


මේ අතර, සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් මහාසංඝරත්න සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවෙන් පසු ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වමින් සියම් මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ බන්ධනාගාරගත කෙරෙන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් විසින් පෙන්වා දෙන ලද කරුණු සාධාරණ බව ජනාධිපතිවරයා පිළිගන්නා ලද බවයි.





