සංචාරක වීසා මගින් මෙරටට පැමිණ විවිධ පරිගණක සහ සයිබර් අපරාධවල නිරත වූ විදේශිකයින් 198 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය දකුණු පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුම් කිහිපයකදීයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්දියානුවන් 173ක් සහ නේපාල ජාතිකයන් 25ක් දෙනෙකු සිටින බවයි පොලීසිය පැවසුවේ.

ඉන් ඉන්දීය ජාතිකයන් 110 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, ගල්වඩුගොඩ හා ශ්‍රී සුමේධ මාවත ප්‍රදේශවල ලැගුම්හල් දෙකක සිදුකළ වැටලීම්වලදීයි.

එම සැකකරුවන් සන්තකයේ තිබූ පරිගණක 58 ක් සහ ජංගම දුරකථන 79 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

දොඩන්දූව ප්‍රදේශයේ හෝටලයක රැදි සිටි තවත් විදේශිකයන් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

ඉන්දීය ජාතිකයින් 35 දෙනෙකු හා නේපාල ජාතිකයින් 20 දෙනෙකු හා ඔවුන්ට නවාතැන් පහසුකම් ලබාදුන් හෝටල් හිමිකරුවෙකු එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

එම විදේශිකයන් සන්තකව තිබු පරිගණක 25 ක්, ජංගම දුරකථන 119 ක් හා රුපියල් හත් ලක්‍ෂ 50,000ක මුදලක් මෙන්ව මෝටර් රථයක් හා ජීප් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හික්කඩුව පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.