මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතයි.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි පොලිසිය නිවේදනය කළේ.
අද පස්වරු 7.00 ට ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වන දෙවන රන්දෝලි පෙරහර, කිලෝමීටර් එකයි මීටර් 950 ක දුරක් වීථි සංචාරය කිරීමට නියමිතයි.
පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ රථවාහන තදබදය පාලනය කිරීම සඳහා මාර්ග බාධක යෙදවීම, ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගල පරීක්ෂාව මෙන්ම විශේෂ රථවාහන ගාල් කිරීමේ වැඩපිළිවෙලක්ද දියත් කර තිබෙනවා.
ඒ අනුව, විකල්ප මාර්ග ලෙස කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියලුම බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් නගරයට ඇතුළු විය හැකි වනවා.
කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානයක වීදිය, හරස් වීදිය සහ යටිනුවර වීදිය ඔස්සේ මීරමක්කම් පල්ලිය අසලින් තිලක් රත්නායක මාවතට යොමු කෙරෙනවා.
කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළු වීමට සහ පිටවීමට විලියම් ගොපල්ලව මාවත හා පරණ පේරාදෙණිය පාර දෙපසටම භාවිත කළ හැකියි.
තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත, වේල්ස් පාර්ක් හන්දිය සහ ඇහැලේපොළ කුමාරිහාමි මාවත ඔස්සේ බෝගම්බර සහ දුම්රිය පොළ දෙසට ධාවනය කළ හැකියි.
මහනුවර නගරයේ සිට අම්පිටිය සහ තෙල්දෙණිය දෙසට යන වාහන සඳහා ඔරලෝසු කණුව වටරවුම, දළදා වීදිය, රැජිණ හෝටලය අසලින් සංඝරාජ මාවත භාවිත කළ හැකි බවයි පොලිසිය පැවසුවේ.
පසුගිය 18 වනදා ආරම්භ වූ ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 28 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.




