දෙස් විදෙස් සිසුන් රැසකට උසස් අධ්‍යාපන වරම් හිමිකර ගෙන දෙන ශ්‍රී දළදා මාලිගාවේ උසස් අධ්‍යාපන ආයතනය වන මහනුවර, පල්ලෙකැලේ සිබා සරසවියේ 12 වන උපාධි ප්‍රදානෝත්සවය ඉකුත්දා පැවැත් වුණා.

ඒ, එම විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදීයි.

මෙම උපාධි ප්‍රදානෝත්සවය සැසි දෙකක් ලෙස පැවැත්වුණු අතර පළමු සැසියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ත්‍රිං තී තම් මහත්මිය සහභාගි වුණා.

දෙවන සැසියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ අන්තර්සර්ග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය චාමර දළුගම මහතායි.

සිබා සරසවියේ සභාපති ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ආචාර්ය ප්‍රදිප් නිලංග දැල මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

පශ්චාත් උපාධි, උපාධි, උසස් ඩිප්ලෝමා සහ ඩිප්ලෝමා 902ක් විද්‍යාර්ථයන් වෙත මෙහිදි පිරි නැමූ බවයි සිබා සරසවිය පවසන්නේ.

දියවඩන නිළමේ ආචාර්ය ප්‍රදීප් නිලංග දැල මහතාගේ සංකල්පයකට අනුව අස්ගිර සහ මල්වතු මහා නාහිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් ඉකුත් 2009 වසරේදී සිබා සරසවිය ආරම්භ කෙරුණා.

ඒ, නෝර්වීජියානු රාජ්‍ය අනුග්‍රහයද සහිතවයි.

සිබා සරසවියේ සියලුම උපාධි පාඨමාලා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත ඒවා වනවා.