හෙලයේ රන් ස්වරය, ප්‍රවීණ ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත නන්දා මාලනී මහත්මියට අවසන් ගෞරව දැක්වීම සදහා අද පෙරවරුවේ සිටද බොහෝ පිරිස් නුගේගොඩ විජයබා මාවතේ පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමය වෙත පැමිණෙමින් සිටිනවා.

ඇය වෙනුවෙන් ආගමික වතාවත් අද පෙරවරුවේ සිදු කෙරුණා.

නන්දා මාලනි මහත්මියගේ අවසන් කටයුතු පස්වරු 5 ට බොරැල්ල කනත්තේදි සිදු කෙරෙන බවයි මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පැවසුවේ.
'' පස්වරු 3:30ට දේහය මෙහෙන් අරන් යනවා. අරගෙන ගිහිල්ලා බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේ තමයි කටයුතු කරන්නේ. මොනම විදියකවත් උත්සව සභාවක්, කථා පැවැත්වීමක්, ශෝක ප්‍රකාශ කියවීමක් ඒ කිසිම දෙයක් නෑ. ඒක එතුමියගේ ඉල්ලීම. අවමංගල්‍ය සභාවක් නොපවත්වා හවස 5:00ට ඉතාම චාම් විදියට මේ අවමංගල්‍ය කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා.''

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද නන්දා මාලනී මහත්මියට අවසන් ගෞරව දැක්වූවා.

මේ අතර නන්දා මාලනී මහත්මියගේ අභාවය රටටම පාඩුවක් බවයි ඇයට අවසන් ගෞරව දැක්වීමට එක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මාධ්‍ය හමුවේ පැවසුවේ.
"අරගල කරපු එතුමියගේ සින්දුවලට ඇහුම්කන් දීලා, ඒ සින්දුවලිනුත් පන්නරයක් අරගෙන... ඉතින් ඒ නිසා පාඩුවක්, රටට පාඩුවක්... දැනෙන පාඩුවක්. එතුමියට ගෞරවය දක්වන්න මං හිතන්නේ අපි සියලුදෙනාම ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා. මේක අර රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට එහා ගිය දෙයක්. මේක ඇත්තටම දැනෙන මොහොතක්..."

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය සිය නිවසේදි පසුගිය 20 වනදා අභාවප්‍රාප්ත වුණා. ඇය ඒ වනවිට 82 වන වියේ පසු වුණා.