සාගරිකා දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට මරදාන බලා අද අලුයම නියමිත වේලාවට ගමන් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, නව දුම්රිය කාර්ය මණ්ඩලයක් සමගින්.
පසුගියදා වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේදී සාගරිකා දුම්රිය පීලි පැනීමකට ලක් වූ අතර එහිදී මුහුදු බඩ මාර්ගයේ මංතීරු දෙකෙහිම දුම්රිය ධාවන කටයුතුවලට පැය කිහිපයක් බාධා එල්ල වුණා.
පීලි පැනීමට ලක්වූ දුම්රිය මැදිරි 7 ක් පීලිගත කර එක් මංතීරුවක දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේ.
පීලිගත කළ සාගරිකා දුම්රිය මරදාන බලා ධාවනය කරමින් තිබියදී කොම්පඤ්ඤවීදීය දුම්රිය ස්ථානය ආසන්නයේදි යළි පීලි පැනීමකට ලක් වුණා.
ඒ අනුව එම දුම්රිය ස්ථානයෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය කටයුතු පැය කිහිපයක් එක් මංතීරුවකට සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවුණා.
කෙසේවෙතත් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද දිනයේ සාමාන්‍ය පරිදි සිදුවන බවයි නෙත් නිවුස් මීට නොබෝ වේලාවකට පෙර දුම්රිය පාලක මැදිරියෙන් කළ විමසීමකදී සදහන් කළේ.
මේ අතර සාගරිකා දුම්රිය පසුගියදා වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
එම සිද්ධියට අදාළ විමර්ශනයක් සිදුකිරීම සදහා පත් කළ කමිටුව ලබාදුන් අතුරු වාර්තාවට අනුව එදින එම දුම්රියේ රාජකාරී කළ කාර්ය මණ්ඩලය එහි රාජකාරීවලින් තාවකාලිකව ඉවත් කර තිබෙනවා.
ඊට එම දුම්රියේ රියදුරු, නියාමක, රියදුරු සහයක හා උප නියාමකවරයා ඇතුළත්. ඒ වෙනුවට වෙනත් කාර්ය මණ්ඩලයක් සමග සාගරිකා දුම්රිය අද අලුයම ධාවනයට එක් කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.




