මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජුලි මස 07 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරුණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
මෙහිදී අධිකරණය කළ විමසීමකදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ හා ලේඛන සියල්ල විත්තිය වෙත භාරදී තිබෙන බව පැවසුවා.
මෙහිදී මහාධීකරණ විනිසුරුවරිය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් පැමිණිල්ලේ සාක්ෂි විභාගය සඳහා කොපමණ කාලයක් අවශ්‍ය දැයි ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ නඩුවේ පළමු සාක්ෂිකරුවන් තුන්දෙනාගේ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා සැලකිය යුතු කාලයක් අවශ්‍ය බවයි.
කෙසේ වෙතත් පැමිණිල්ලේ සාක්ෂි වෙනුවෙන් දින 30 ක් පමණ අවශ්‍ය වනු ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා.
ඉන් අනතුරුව විත්තියේ නීතිඥවරු ඇමතු මහාධිකරණ විනිසුරුවරිය යම් හෙයකින් විත්තියේ සාක්ෂි කැඳවීමට තීරණය කළහොත් ඒ සඳහා කොපමණ කාලයක් අවශ්‍ය වේදැයි විමසුවා.
ඊට පිළිතුරු දෙමින් විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා සඳහන් කළේ මේ අවස්ථාව වන විට එවැනි සාක්ෂි කැඳවීමක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බවත් විත්තිවාචකය සඳහා දිනක් හෝ දෙකක් අවශ්‍ය වනු ඇති බවත් පැවසුවා.
ඉන් අනතුරුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින ඉන්දියානු ජාතිකයින් වන රාජේන්ද්‍ර ගුප්තා සහ අමිත් පටෙල් යන මුලින්ම සාක්ෂියට කැඳවන බව පැවසුවා.
මෙහිදී මහාධිකරණ විනිසුරුවරිය ප්‍රකාශ කළේ මෙම සාක්ෂිකරුවන් දෙදෙනා ඉන්දියානු ජාතිකයින් බැවින් ඔවුන්ට සිතාසි නිකුත් කිරීමට සිදුවන්නේ විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීම සඳහා සම්පාදනය කර තිබෙන ක්‍රමවේදයකට අනුකූලව බව පෙන්වා දුන්නා.
එම ක්‍රමවේද යටතේ සිතාසි නිකුත් කිරීමේදී මාස හතරක පමණ කාලයක් ගතවනු ඇති බවත් විනිසුරුවරිය සඳහන් කළා
එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ මෙම සාක්ෂිකරුවන්ගේ සමාගමේ නියෝජිත සමාගම ශ්‍රී ලංකාවේ පවතින බවත් ඔවුන් මාර්ගයෙන් එම සාක්ෂිකරුවන්ව නඩු විභාගය සඳහා ගෙන්වා ගැනීමට හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාට දැනුම් දී තිබෙන බවයි.
කෙසේ වෙතත් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ එම සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙස නියම කළ මහාධිකරණ විනිසුරුවරිය නඩු විභාගය පැවැත්වෙන දින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් කැදවීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.
ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ මහාධිකරණ විනිසුරුවරිය මෙම නඩුවේ සාක්ෂි විභාගය ජුලි මස 07 වනදා ආරම්භ කරන බවත් නියෝග කළා.




