වව්නියාව, මැණික් ෆාම් ස්ත්‍රී දූෂණ නඩුවේදි වරදකරු කෙරුණු හින්දු පූජකවරයාට නියම කරන ලද සිරදඩුවම අභියාචනාධිකරණය විසින් අද සංශෝධනය කෙරුණා.
මුල් තීන්දුවේදි වරදකරු කෙරුණු හින්දු පූජකවරයාට වසර 17ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කර තිබුණු අතර එය වසර 13 ක් දක්වා අඩු කිරීමටයි අභියාචනාධිකරණය එහිදි නියෝග කළේ.
එම සිරදඩුවම විත්තිකරු වරදකරු කළ දිනයේ සිට ක්‍රියාත්මක විය යුතු බවද අභියාචනාධිකරණ තීන්දුවේ සදහන් වනවා.
විත්තිකාර හින්දු පූජකවරයාට පෙර වැරදි නොමැතිවීම සහ ඔහු පස් දරු පියෙකුවීම යන කරුණු සැලකිල්ලට ගෙන සිරදඩුවම මෙලෙස සංශෝධනය කරන බවයි අභියාචනාධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සදහන් වන්නේ.
ප්‍රශ්නගත අපරාධය සිදුව තිබුණේ 2011 වසරේ නොවැම්බර් මස 11 වනදා හෝ ඊට ආසන්න දිනයකදීයි.
වව්නියාව මැණික් ෆාම් සරණාගත කදවුරේ රැදී සිටි එවකට 17 වන වියේ පසු වූ පාසල් ශිෂ්‍යාවක් එහිදි අගතියට පත්ව තිබුණා. මේ පිළිබද මුල් නඩුව විභාග කළේ වව්නියාව මහාධිකරණය විසින්.
නඩු විභාගයේදී අනාවරණ වූයේ විත්තිකාර හින්දු පූජකවරයා අගතියට පත් වූ පාසල් ශිෂ්‍යාවගේ ඥාතියෙකුද වන බවයි.
සියළු කරුණු සළකා බැලූ වව්නියාව මහාධිකරණය විත්තිකරු වරදකරු කරමින් ඔහුට වසර 17 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් සහ ඊට අමතරව රුපියල් පන් දහසක දඩයක් ද අගතියට පත් පාසල් ශිෂ්‍යාවට රුපියල් ලක්‍ෂ 3ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළා.
වරදකරු කෙරුණු හින්දු පූජකවරයා අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ගොණුකළේ මෙම තීන්දුව අභියෝගයට ලක් කරමින් සහ තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින්.
අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එය දීර්ඝ ලෙස සළකා බැලුණා.