රට සුවපත් කිරීම සඳහා හොඳම සේවා සපයන්නන් දරුවන් වන බැවින්, පියයුරු පිළිකා පිළිබඳව දේශය දැනුවත් කිරීම උදෙසා මියුසියස් දියණියන් පුහුණු කිරීමට ‘රෝස බදාදා‘ දිනය යොදාගත් බව මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනි සංජීවනී බණ්ඩාර මහත්මිය පවසනවා.

මියුසියස් විද්‍යාලයේ 'Pink Day Allies' සංවිධානය මඟින් මෙහෙයවනු ලබන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ සහ ප්‍රජා සත්කාරක වැඩසටහනේ ප්‍රථම සංවත්සර සැමරුම පැවැත් වුණා.

ඒ, එම විද්‍යාලයේ පීටර් ද අබෲ ශ්‍රවණාගාරයේදීයි.

පෙර දැනුවත්භාවය ඔස්සේ පහසුවෙන්ම නිවාරණය කරගත හැකි පියයුරු පිළිකා සම්බන්ධයෙන් අතිශයින්ම අවදානමට ලක්ව ඇති කාන්තා පරපුර දැනුවත් කිරීම මඟින් සේවය සැලසීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූ බව විදුහල්පතිනිය එහිදී පෙන්වා දුන්නා.

වසරක කාලයක් අඛණ්ඩව මෙම වැඩසටහන පවත්වාගෙන යාමේදී, සෑම බදාදා දිනකම රෝස පැහැති පාසල් ටයි පටියක් පැළඳ මියුසියස් දියණියන් පිළිකා කල්තියා හඳුනාගැනීම පිළිබඳ සමාජය දැනුවත් කිරීමට කැපවී කටයුතු කළ ආකාරයද ඇය එහිදී සිහිපත් කළා.

මෙම සත්කාරය සඳහා අනුග්‍රහය දැක්වූ ඉන්දිරා පිළිකා භාරයටද විදුහල්පතිනිය සිය ස්තූතිය පිරිනැමූවාය.

මෙම අවස්ථාවට එක්වූ පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර මහතා අඳහස් දක්වමින් වසරකට පියයුරු පිළිකා රෝගීන් අලු‍තින් 6000 ක් පමණ අලු‍තින් හඳුනා ගන්නා බව පැවසුවා.

පියයුරු පිළිකා කාන්තාවන්ගේ අංක එකේ පිළිකා තත්ත්වය බවත් එය සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇතත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ සුව කිරීමේ ප්‍රතිශතය ද ඉහළ ගොස් ඇති බවයි ඇය පෙන්වා දුන්නේ.

ඒ සඳහා කරුණු 3 ක් අනුගමනය කල යුතුයි.

පිළිකා මූලික අවස්ථාවෙ හඳුනා ගැනීම, නිසි ප්‍රතිකාර ලබා ගැනීම සහ සුදුසු පසු විපරමක් ඇති කිරීම අනුගමනය කළයුතු කරුණු තුන වනවා.

එසේ කළහොත් ප්‍රශ්නය වළක්වා ගැනීමට හැකි යැයි කී වෛද්‍ය සංජීව ගුණසේකර මහතා ඒ සඳහා ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගත යුතු බවද කියාසිටියා.

උත්සව සභාව ඇමතූ ඉන්දිරා පිළිකා භාරයේ වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය සඳහන් කළේ මියුසියස් දියණියන් ඉටුකළ මෙම මානව හිතවාදී ප්‍රයත්නය ශ්‍රී ලංකාවේ සියලු‍ම පාසල්වලට අනගි උදාහරණයක් බවයි.