හෝමාගම දෙල්ගහකන්ද ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී පොලිස් වෙඩි ප්‍රහාර මැද පලා ගිය මෝටර් රථය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.
හෝමාගම මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් හෝමාගම පොලිස් වසමේ අපරාධ හා නිවාරණ දූෂණ මර්දන රාජකාරී යෙදී සිටියදී දෙල්ගහ කන්ද ප්‍රදේශයේ පාළු ස්ථානයක නතර කර තිබූ මෝටර් රථයක් පරික්ෂා කිරීමට යන අවස්ථාවේදී එම මෝටර් රථයේ සිටි රියැදුරු විසින් පොලිස් නිලධාරීන් බව දැන දැනම පලායාමට උත්සාහ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීයෙකු විසින් සිය රාජකාරි ගිනි අවියෙන් මෝටර් රථයේ රෝද ආවරණය වන පරිදි වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.
පලා ගිය මෝටර් රථය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී එම මෝටර් රථයේ ලියාපදිංචි අංකය සොයාගැනීමට හැකි වූ බවයි පොලීසිය පැවසුවේ.
අදාල මෝටර් රථය පාදුක්ක, වටරැක, සමනලතැන්න ප්‍රදේශයේ පුද්ගලයෙකුට හිමි මෝටර් රථයක් බවට එහිදී අනාවරණය වී තිබෙනවා.
මෝටර් රථයේ හිමිකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී හිමිකරු එම ලිපිනයේ නොමැති බවත් මෙම සිදුවීමෙන් අනතුරුව ඔහු නිවසින් පළා ගොස් ඇති බවටත් අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.
ඔහු මීට පෙර බැංකු නිලධාරියෙකු ලෙස සේවය කළ අයෙකු වනවා.
ඔහු මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන්නෙක් බවටද තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවා.
සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.




