වලස්මුල්ල බෝවල ප්රදේශයේ පැවති බක්මහ උළෙලකදි පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා වලස්මුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබාදුන් නියෝගයක් මතයි.
ඒ, අනුව එලෙස රිමාන්ඩ් කර ඇත්තේ එකම පවුලේ පිය පුතු දෙපළක්.
පසුගිය 16 වනදා වලස්මුල්ල බෝවල ප්රදේශයේ නිවසකට යාබදව පැවති එම බක්මහ උළෙල පැවති පරිශ්රයේදී බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ එම පොලිස් නිලධාරියා පළමුව වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.
එහි දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලැබූ ඔහු වැඩිදුර ප්රතිකාර සඳහා මාතර මහ රෝහලටත් ඉන් අනතුරුව කරාපිටිය මහ රෝහලටත් මාරු කෙරුණා.
එහිදී අදාළ පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
බක්මහ උළෙල අවසානයේ එම ස්ථානය පිරිසිදු කරමින් සිටියදී එම පොලිස් නිලධාරියාගේ සහෝදරයාට පිරිසක් විසින් පහරදි තිබෙනවා.
ඒ පිළිබද ලැබුණු තොරතුරකට අනුව එම පොලිස් නිලධාරියා සිය මෝටර් රථයෙන් එම ස්ථානයට පැමිණ තිබුණා.
එහිදී ගැටුමට සම්බන්ධ අනෙක් පාර්ශ්වයේ අයෙකු විසින් එම පොලිස් නිලධාරියාට තියුණු ආයුදයකින් පහර දී තිබෙනවා.
එම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාලිගාවත්ත පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.
වලස්මුල්ල බෝවල ප්රදේශයේ පදිංචිව සිටි චමින්ද ප්රභාත් නමැති 46 හැවිරිදි වියේ පසු වූ ඔහු තිදරු පියෙක්.
එම පොලිස් සැරයන්වරයාගේ අවසන් කටයුතු අද පස්වරුවේ වලස්මුල්ල බෝවල ප්රදේශයේදී සිදුකිරීමට නියමිතයි.



