මෙරට විවාහ අනුපාතය හා දරු උපත් අනුපාතය අඩුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා පැවසුවේ තරුණ තරුණියන් විවාහ වීමේ ප්‍රතිශතය අඩු වී ඇති බවයි.

"අපේ මේ 2024 සංගණනය අවසන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ Total Fertility Rate (සමස්ත සඵලතා අනුපාතිකය) එක 1.3 ට අඩු වෙලා. හැබැයි Total Marital Fertility Rate (සමස්ත විවාහක සඵලතා අනුපාතිකය) එක 2.7 යි.

ඒ කියන්නේ මොකක්ද? අපේ හුඟක් අපේ කාන්තාවන් එහෙම නැත්නම් අපේ තරුණ අය දැන් විවාහ වෙනවා අඩුයි. විවාහ වෙන අයගේ දරු උපත් වෙනදා විදියටම එහෙම නැත්නම් මීට ආසන්න වශයෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ කසාද බඳිනවා නම් ඒගොල්ලන්ගේ දරු උපත් සංඛ්‍යාව වැඩියි. කසාද නොබැඳීම යම්කිසි විදියකට බලපාන්න ඉඩ තියෙනවා මේ දරු උපත් අඩු වීමට.

අපි පිළිගන්නවා මේ පහුගිය කාලසීමාව තුළම දරු උපත් අඩු වෙලා තියෙනවා. හැබැයි ඒක වේගවත් වුණා පසුගිය අවුරුදු පහ එහෙම නැත්නම් හය ඇතුළත. විශේෂයෙන්ම ඒකට බලපෑවා මේ ආර්ථික අර්බුදය."

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වාර්තාවක් උපුටා දක්වමින් පැවසුවේ මෙරට දරු උපත් අනුපාතය අතිශය අවම මට්ටමකට පත්වීමේ දැඩි අවදානමක් ඇති බවයි.

"විශේෂයෙන් ලංකාවේ මේ ජනගහනය කඩා වැටීමට හේතුවෙන තත්ත්වයට, විශේෂයෙන්ම 2036 වෙනකොට Birth Rate එක Nil වෙනවා කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ Zero වලට පත්වෙනවා. ඊටපස්සේ මේක විශාල පල්ලෙහාකට යාමක් සිද්ධ වෙනවා. විශේෂයෙන් ඉතිරි අවුරුදු 100 ඇතුළත ලංකාවේ Civilization එක නැත්නම් ලංකාවේ ජනගහනය සම්පූර්ණයෙන්ම නැතිවෙන තැනකට තල්ලු වෙයි කියන බය ඔවුන් මේකෙදි ප්‍රකාශ කරනවා මේ වාර්තාවේ."

"අපි අපේ Birth Rate එක 2047 වෙනකොට 0.88 ට වැටෙන තත්ත්වයක් තමයි කියන්නේ. එතකොට මං විශේෂයෙන් මේකෙදි පෙන්වලා දෙන්න කැමතියි මේ පළාත් මට්ටමින් මේක ඉදිරිපත් කරලා තිබෙනවා."

  • "උතුරුමැද පළාතේ සෘණ -8.68 කට යනවා 2031 දී. එතකොට Birth Rate එක 2031 වෙනකොට Nil (බිංදුවට) වැටෙනවා."

  • "සබරගමුවේ ඒක 2033 දී තමයි සිද්ධ වෙන්නේ."

  • "දකුණු පළාතේ 2034 දී."

  • "ඌව 2035 දී."

  • "වයඹ පළාත 2035 දී."

  • "මධ්‍යම පළාත 2035 දී."

  • "බස්නාහිර පළාත 2047 දක්වත්,"

  • "නැගෙනහිර පළාත (Eastern Province) 2059 දක්වත්,"

  • "උතුරු පළාත (Northern Province) 2069 දක්වත්..."

"...යන කාලවකවානු තුළ මේක Ranking හදලා තියෙනවා. මේකත් එක්ක සිද්ධ වෙයි කියන කාරණය."

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සදහන් කළේ දරු උපත් අනුපාතය වැඩි කිරීම සදහා දෙමව්පියන්ට ආණ්ඩුව විසින් යම් සහනයක් ලබා දිය යුතු බවයි.
"රටේ ආර්ථික ප්‍රශ්න නිසා දරුවන් හදන එක අතහැරලා තියෙනවා කියන එක සත්‍යයක්. ඒක එකම ප්‍රශ්නය නෙමෙයි, මම පිළිගන්නවා. වෛද්‍ය අබේසිංහ මැතිතුමාත් ඒක කිව්වා, එකම ප්‍රශ්නය නෙමෙයි මම ඒක පිළිගන්නවා. හැබැයි ආර්ථික ප්‍රශ්නය තමයි ප්‍රශ්නය. දැන් අද මේ විවාදයෙන් පස්සේ ඔබතුමිය බලන්න සමාජ මාධ්‍යවල තියෙන ප්‍රතිචාර, ඕහොමනම් කියයි, 'ළමයි හදන්න ඕගොල්ලෝ අපිට සල්ලි දෙනවාද?' ඕහොමනම් ඔයාට කියන්න පුළුවන්, 'ඔයාට ළමයි කීදෙනෙක් ඉන්නවාද?' මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. දැන් ඒ ළමයි ලොකුයි, මගේ ළමයිත් කසාද බඳින වයසේ. එතකොට දැන් ඒ හැමෝටම ඒ ශක්තිය නැහැ. හැමෝම වෘත්තිකයන් නෙමෙයි. දැන් 2015 දී විවාහ 1,77,630 ක් තිබිලා තියෙනවා. 2025 වෙනකොට 1,44,182 ක්. 2024 දී 1,39,290 ක්. එතකොට අපි බැලුවොත් එහෙම 2015 ඉඳලා 2025 දක්වා විවාහ සංඛ්‍යාව අඩු වෙලා තිබෙනවා 33,650 කින්. දරුවන්ගේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා, වාර්ෂික උපත් සංඛ්‍යාව අඩු වෙලා තිබෙනවා 1,20,000 කින්. එතකොට මේක අපිට පෙනෙනවා මේ විවාහ අඩුවීමත් ප්‍රශ්නයක්. එතකොට විවාහ වීම ධෛර්යමත් කරන්න ඕනේ, ඒක සංස්කෘතික ප්‍රශ්නයක්. ඊට වඩා ගැඹුරට ගිය ප්‍රශ්නයක්ද කියලා විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක ගැඹුරු පර්යේෂණයක් කිරීම ආණ්ඩුවේ වගකීම..."

ළමා හා කාන්තා අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවේ විවාහ හා දරු උපත් අනුපාතය පහල යාම සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානයක් යොමුව ඇති බවයි.

"පසුගිය කාලපරාසයේ 2018 ඉඳලා 2025 දක්වා ගනිද්දී, ආසන්නයේ වසර 10ක් තුළ—වසර 7ක වගේ කාලයේ, 2018 දී 3,28,112 ක් ව පැවතිච්ච වාර්ෂික දරූ උපත් සංඛ්‍යාව, 2025 වෙද්දී 2,14,000 දක්වා පහත වැටීමක් සිද්ධ වෙලා තිබෙනවා.

එතකොට මෙය සඳහා වූ මේ කාලපරාසය තුළ රටේ පැවතිච්ච සියලුම සාධක—ආර්ථික පරිහානිය වෙන්න පුළුවන්, දේශපාලන අස්ථාවරභාවය වෙන්න පුළුවන්, රෝග පීඩාදිය වෙන්න පුළුවන්, පාරිසරික හේතු මත වෙන්න පුළුවන්, තරුණයන් විදෙස්ගත වීම වෙන්න පුළුවන්—ඒ ඕනෑම කරුණක් මත මේ සිදුවෙච්ච කාරණාව සම්බන්ධව අපි පූර්ණ අධ්‍යයනයක් කරන්න අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඇත්තටම අපි මේ වන විටත් අපි මේ පිළිබඳව අවධානය යොමු කරපු කාරණාවක්.

ලංකාවේ මේ වාර්ෂික උපත් සංඛ්‍යාව අඩුවීම අනාගත ශ්‍රම බලකායේ ප්‍රමාණය අඩුවීමට බලපානවා විතරක් නෙමෙයි, ජනගහනය වයෝවෘද්ධ වීම—ඒ කියන්නේ වයෝවෘද්ධ ජනගහනය වැඩිවීමත් රජයක් හැටියට, ආණ්ඩුවක් හැටියට මේක ඇත්තටම ඒක අපි සුභසාධන සකස් කරන්න ඕන, රැකබලාගැනීමේ වැඩසටහන් සංවිධානය කරන්න ඕන. ඒ වගේම තමයි අන්න ඒ ශ්‍රම බලකාය තුළේ ඔවුන්ගේ කාර්යභාරය අහෝසි වෙනවා. එතකොට අර තරුණයන් රැකියాగත වීම ශ්‍රම බලකාය තුළ අඩුවීම. එතකොට මේක දිගුකාලීන ආර්ථික සංවර්ධනය කෙරෙහි බලපෑම් ඇති කරන්න පුළුවන් සාධකයක් හැටියට අපි හඳුනාගෙන, මේක ප්‍රජාවිද්‍යාත්මක ගැටලුවක් හැටියට තමයි අපි මේක විග්‍රහ කරමින් හඳුනාගෙන තිබෙන්නේ."