වැටලීමක් සඳහා ගිය පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ගුවන් හමුදා නිලධාරින් පිරිසක් බාධා කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කරුණු දැක්වීමක් සිදු කරනවා.
නෙත් නිව්ස් කල විමසීමකදී ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් නලීන් වැවකුඹුර මහතා ප්‍රකාශ කළේ අදළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සැලවූ වහාම ඒ පිළිබඳ කරුණු සොයා බැලීමක් සිදුකළ බවයි.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් තිබූ කහ, සබන් සහ ෂැම්පු පැකට් තොගයක් කල්පිටිය කන්දකුලිය,වෙඩි පිටිය ප්‍රදේශයේදී ඉකුත්දා අත්අඩංගුවට ගැනුනා.
ඒ, පුත්තලම කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය සිදුකල වැටලිමකදියි.
වෙඩි පිටිය මුහුදු තීරයේ සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 420 යි ග්‍රෑම් 50 ක්,සබන් කැට 1600 ක් සහ ෂැම්පු පැකට් 45,888 ක් මෙහිදී පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුනා.
මෙම භාණ්ඩ තොගය සගවා තිබී ඇත්තේ ගුවන් හමුදාවට අයත් “වෙඩි පිටිය” ලෙස හදුන්වන භූමි ප්‍රදේශයකයි.
ගුවන් හමුදා නිලධාරීන් අහසින් සහ භූමියෙන් වෙඩි තැබීමටත්, බෝම්බ හෙලීමටත් පුහුණු වන ස්ථානයක් ලෙස මෙම භූමි ප්‍රදේශය වෙන් කර තිබෙනවා.
මෙම වැටලීමට ගිය අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ ඇති ගුවන් හමුදා නිලධාරියෙකු සහ භටයින් පිරිසක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති බවයි වාර්තාවුනේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ ඊයේ දින අදාළ වෙඩි පිටියේදී ගුවන් හමුදා නිළධාරීන්ගේ පුහුණුවීමක් තිබූ බවයි.
එම අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සැරසුනු පිරිසක් වෙඩි පිටියට ඇතුළුවන ආකාරය දුටු ගුවන් හමුදා නිළධාරීන් එම පිරිස සමඟ සාකච්ඡා කර තිබෙනවා.
සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසකට පුහුණුවීමක් අතරතුර වෙඩි පිටියට ඇතුළුවිය නොහැකි බැවින් එම කරුණු විමසීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
පසුව එම පිරිස පොලිස් නිළධාරීන් බවට හඳුනා ගැනීමත් සමඟ ගුවන් හමුදා නිළධාරීන් ඔවුන්ගේ වැටලීම සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා.
එහිදී පොලිස් භාරයට ගත් භාණ්ඩ තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සදහා කල්පිටිය පොලීසියට භාර දීමට වැටලීම කළ පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇති අතර වැටලීමේදී සැකකරුවන් පලා ගොස් තිබෙනවා.
කල්පිටිය සහ ඒ අවට මුහුදු සීමාවේ සිදුවන බව කියන ජාවාරම් වලට පොලිස් නිලධාරීන්ගේ සහාය ලැබන බවට දැඩි චෝදනාවක් පසුගිය කාලයේදී එල්ල වුනා .
පසුගිය දිනක මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා හලාවත ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ සිදුවූ සාකච්ඡාවේදී කල්පිටිය ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥකයෙකු විසින් එම චෝදනාව කර තිබු බවයි වාර්තා වුණ්.
එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා හැර සෙසු සියළුම නිලධාරීන් වෙනත් පොලිස් ස්ථාන වෙත මාරු කර යැවීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබුණා.
ඒ අනුව ඉකුත් 08 වැනිදා සිට වහාම ක්‍රියත්මක වන පරිදි කල්පිටිය පොලීසියේ නිලධාරීන් 24 දෙනෙකුද,තවත් නිලධාරීන් 15 දෙනෙකු 10 වැනිදා සිටද ස්ථාන මාරු කර තිබුණා.
මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන එන භාණ්ඩ සොයා කල්පිටිය මුහුදු තීරයේදී වැටලීම් සිදු කරන විට ඇතැම් සෙසු ආරක්ෂක අංශ නිලධාරීන් මේ ආකාරයට තමන්ට බාධා සිදු කරන බවයි පොලිස් නිලධාරීන් සදහන් කරන්නේ.




