කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී අද විරෝධතාවක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව සංවිධාන කෙරෙන බවයි.

කෙසේ වෙතත් අද දිනයේ රෝහල් පද්ධතිය තුල කිසිදු වැඩ වර්ජනයක් සිදු නොවන බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවා.
"ප්‍රතිපත්ති යෝජනාවලියක් ලබා දීලා ජනාධිපතිතුමාගෙන්, අග්‍රාමාත්‍යතුමියගෙන්, සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් දිගින් දිගටම සාකච්ඡා ඉල්ලා සිටියත්, අඩු ගානේ සාකච්ඡා කරන්නවත් සූදානම් නැති තත්ත්වයක් තමයි අපි දකින්නේ. මේ තුළ අපිට පෙනෙන්නේ නැහැ මේ රටේ වෛද්‍යවරුන්ට මුහුණ දීලා තියෙන ආර්ථික අසාධාරණයට, ඔවුන්ගේ දීමනා කප්පාදුවට, වෛද්‍ය හිඟයට සාධාරණ පිළිතුරක් මේ ආණ්ඩුවෙන් ලැබෙන තත්ත්වයක් තියෙනවා කියලා. ප්‍රශ්නය විසඳන්න සාකච්ඡා කරන්න සූදානම් නැති වෙනකොට වෛද්‍යවරු විදිහට තීරණය කරලා තියෙනවා මේ ප්‍රශ්නය මහා පාරට, ජනතාව වෙත ඉදිරියට අරගෙන එන්න. ඒ අනුව අසාධාරණ දීමනා කප්පාදුවට, වෛද්‍යවරුන්ගේ ආර්ථික අසාධාරණයට විසඳුම් ඉල්ලලා, වෛද්‍ය හිඟය විසඳන්න විසඳුම් ඉල්ලලා, ඒ වගේම මේ සියල්ලත් එක්ක අරගෙන එන විශේෂයෙන් වෘත්තීය සමිති මර්දනය කිරීමේ අරමුණින් අරන් එන මර්දනකාරී පනත් නැවත අකුළා ගැනීම ඉල්ලා සිටිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට අද දිනයේදී දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දහවල් 12ට අපි සංවිධානය කරලා තියෙනවා. අද දිනයේදී කිසිම් විදිහක වැඩ වර්ජනයක් නැහැ. සාමාන්‍ය පරිදි රෝහල්වල රට පුරා රාජකාරී කටයුතු සිද්ධ වෙනවා. හැබැයි අපි අපේ නියෝජිතයෝ අද දිනයේදී කොළඹට කැඳවලා තියෙනවා. දහස් සංඛ්‍යාත පිරිසක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දහවල් 12ට රැස්වීමට නියමිතයි."