රථ වාහන වැරදි සිදුකරන රියදුරන් සී සී ටී වී දර්ශන මගින් හදුනාගත් බවට හඟවමින් පොලීසිය විසින් යොමුකරන ලෙස හැගී යන ආකාරයට කිසියම් පිරිසක් එම රියදුරන්ට ව්‍යාජ දුරකතන අංක කිහිපයකින් එස් එම් එස් හා වට්ස්ඇප් පණිවිඩ යොමු කිරීමේ සිද්ධින් පිළිබද වාර්තා වී ඇතැයි පොලීසිය පවසනවා.

මෙලෙස යොමු කරන ලද පණිවිඩය කියවීමෙන් පසුව අදාළ වැරදි සදහා දඩ මුදල් ගෙවීමට ව්‍යාජ වෙබ් අඩවියකට පිවිසෙන ලෙස ඔවුන් විසින් දැනුම් දෙන බවයි පොලීසිය පැවසුවේ.

එයට පිවිසෙන රියදුරන්ට දඩ මුදල ගෙවීම සදහා බවට හඟවමින් වෙබ් අඩිවියේ සැකසුම ඔස්සේ තවදුරටත් ඉදිරියට යාමට සලස්වා ඒ හරහා එම පුද්ගලයාගේ ණය කාඩ්පත් තොරතුරු ඇතුළු වෙනත් තොරතුරු ඉතා සූක්‍ෂමව මෙම වංචාකරුවන් ලබාගැනීමට කටයුතු කර ඇති බවටද නිරීක්‍ෂණය වී තිබෙනවා.

ගෙවීම් කටයුතු සිදු කිරීමේ පහසුව සදහා නිර්මාණය කර ඇති ගව්පේ වෙබ් අඩවියට සමාන ලෙස වංචාකරුවන් විසින් ඔවුන්ගේ ව්‍යාජ වෙබ් අඩවිය නිර්මාණය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙමගින් පොලිසියේ කීර්තිනාමයට සහ මහජන විශ්වාසයට දැඩි හානියක් සිදුවිය හැකි බවට නිරීක්‍ෂණය වන බවත් ව්‍යාජ එස් එම් එස් හා වට්ස්ඇප් පණිවිඩවල සදහන් සබැදි වෙත පිවිසීමෙන් වළකින ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම රථ වාහන වැරදි සිදුකළ බවට ලැබෙන මෙවැනි පණිවිඩ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලිමක්ද කළා.

මේ අතර ඔබ යම් රථ වාහන වරදක් සිදු කිරීමෙන් පසු ඒ බවට පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දිමකින් අනතුරුව ඔබ වරද පිළිගත් විටකදි පමණක් ගව්පේ යෙදවුමෙන් දඩ පත්‍රිකාවක් ලබාගැනීමෙන් පසු පමණක් අදාළ දඩ මුදල ගෙවීමට කටයුතු කරන ලෙස පොලීසිය වැඩිදුරටත් මහජනතාවට දැනුම් දෙනවා.