රිමාන්ඩ් භාරයට පත්ව අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හත් දෙනා අනුරාධපුර බන්ධනාගාරයේ රැදවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, එම පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවට අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් කළ නිර්දේශ මතයි.

ඒ අනුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්‍ෂූන් වහන්සේ තුන් නම අනුරාධපුර බන්ධනාගාරයේ වෙනම වාට්ටුවක විශේෂ ආරක්‍ෂාවක් යටතේ රැදවූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

රක්‍ෂිත බන්ධනාගාරගත කළ සෙසු පුද්ගලයන් දෙදෙනා සහ කාන්තාව වෙනත් වාට්ටු කිහිපයක රදවා තිබෙනවා.

රුවන්වැලි මහාසෑය අසල පසුගියදා හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු එම පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණා.

අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා රෝහලට පැමිණ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 26 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කළා.