අහුංගල්ල, ලෝකන්වත්ත සුසාන භූමිය අසලදී පෙරේදා රාත්‍රියේ කෙරුණු වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින්.
වෙඩි තැබීමට මෙලෙස ඉලක්ක වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස චෝදනා ලද ලොකු පැටී නැමැත්තාගේ සහෝදරයකු බව නෙත් බැලුම්ගල අනාවරණ කළා.
කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් ඔහුට හෝ වෙනත් කිසිවෙකුට ජීවිත හානි හෝ තුවාල සිදුවූයේ නැහැ.
වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ අහුංගල්ල පොලිසිය විසින්.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ අහුංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කොස්ගොඩ, හෑගල්ල ප්‍රදේශයේ ලැගුම්හලක සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 760 ක් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
මෙම සැකකරු කොස්ගොඩ, පිටිගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර විමර්ශනවලදී වැඩිදුරටත් හෙළිව ඇත්තේ මෙම වෙඩි තැබීම ටී56 ගිනි අවියක් යොදාගෙන සිදු කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු දින තුනක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලිසිය පැවසුවා.



