ලොව වේගයෙන්ම දියුණු වන සංචාරක ගමනාන්ත 10 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබෙනවා.
ඒ, ලෝක ආර්ථික සංසදය විසින් නිකුත් කරන ලද 2026 නවතම සංචාරක හා සංචාරක සංවර්ධන ශ්‍රේණිගත කිරීමට අනුවයි.
2024 ට සාපේක්ෂව 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශකය සියයට 4.3 න් ඉහළ ගොස් තිබෙනවා.
ලෝක ආර්ථික සංසදය විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීමෙහි ලොව වේගයෙන්ම දියුණු වන සංචාරක ගමනාන්ත 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව සිටින්නේ ඒ අනුවයි.
ඇල්බේනියාව මෙම ශ්‍රේණිගත කිරීමෙහි ප්‍රථම ස්ථානයේ පසුවනවා. දෙවන, තුන්වන, හතරවන සහ පස්වන ස්ථාන හිමිව ඇත්තේ පිළිවෙළින් වියට්නාමය, ලාඕසය, කටාර් සහ මැලේසියාව යන රටවලටයි.
තායිලන්තයට හයවන ස්ථානයත් පිලිපීනයට හත් වන ස්ථානයක් හිමිව තිබෙනවා. අටවන සහ නම වන ස්ථාන හිමිව ඇත්තේ පිළිවෙලින් මොරොක්කෝවට සහ නේපාලයටයි. ශ්‍රී ලංකාව දස වන ස්ථානයේ ශ්‍රේණිගත වී තිබෙනවා.
මෙම නවතම ශ්‍රේණිගත කිරීම නිකුත් කරමින් ලෝක ආර්ථික සංසදය පෙන්වා දෙන්නේ ආසියා පැසිෆික්, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපවල නැගී එන සංචාරක වෙළඳපොළ, පාරම්පරික සංචාරක රටවලට වඩා වේගයෙන් දියුණු වෙමින් ඇති බවයි.
සංචාරක යටිතල පහසුකම්, ගුවන් සේවා සබඳතා, සංස්කෘතික හා ස්වාභාවික සම්පත් මෙන්ම තිරසාර බව වැනි නිර්ණායක 17 ක් සැලකිල්ලට ගෙන ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙනවා. ඒ සඳහා සලකා බලා ඇති රටවල් ගණන 110ක්.




