හොරණ තිබ්බටුගොඩ පොදු සුසාන භූමියේ වලදමා තිබූ පුද්ගල මළසිරුරක් අධිකරණ ක්‍රියාමාර්ග වෙනුවෙන් අද යළි ගොඩගත්තා.

ඒ හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගම මහත්මිය ඉදිරියේදීයි.

මෙලෙස ගොඩගැණුනේ වසර එකහමාරකට පමණ පෙර අතුරුදන් වූ සදුන් උදාර අල්විස් නොහාත් හාවා නමැත්තෙකුගේ සිරුර බවට විශ්වාස කෙරෙනවා.

සදුන් උදාර අල්විස් නොහාත් හාවා පානදුර , හිරණ , කිරිබේරිය ගල්පොත්ත පාරේ පදිංචිව සිටී අතර අතුරුදන් වන විට ඔහු පසුවූයේ 31 වන වියේයි.

කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඔහු ඝාතනය කර ඇතැයි ද පසුව සිරුර වලදමා ඇතැයි ද සැකකෙරෙනවා.

මේ පිළිබද විමර්ශන ආරම්භ කෙරුණේ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලු‍ගල මහතාට ලද තොරතුරක් අනුවයි.

සදුන් උදාර අල්විස් නොහාත් හාවා නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කුප්‍රකට පානදුරේ සළිදු පාර්ශවය විසින් සිදුකළ බව කියන මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් නඩුවක ප්‍රධාන සාක්ෂිකරුව සිටියා.

ප්‍රශ්ණගත එම ඝාතනය සිදුව තිබුණේ ඉකුත් 2021 වසරේදී පානදුර පිංවල පොදු සුසාන භූමියේදීයි.

එසේ තිබියදී සදුන් උදාර අල්විස් නොහොත් හාවා නමැත්තා ඉකුත් 2024 වසරේ අගෝස්තු මස 3වනදා අතුරුදන් වුණා.

පොලීසියට ලැබුණූ පැමිණිල්ලක දැක්වුණේ ඔහු ත්‍රිරෝද රථෙයන් ගැබිනි කාන්තාවක සමග කුලී ගමනක් ගොස් ඇති බවත් ඉන් පසුව සිට ඔහු අතුරුදන් බවත්.

පසුව අදාල ත්‍රිරෝද රථය පාදුක්ක ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ගැණුනා.

එහෙත් සදුන් උදාර අල්විස් නොහොත් හාවා නමැත්තා පිළිබද තහවුරු කළ තොරතුරක් ලැබුණේ නැහැ.

මේ පිළිබද වැඩිදුර විමර්ශනවලදී සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනුනා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණ වී ඇත්තේ සදුන් උදාර අල්විස් නොහොත් හාවා නමැත්තා ඝාතනය කර පළමුව සිරුර වෙනත් තැනක වළ දමා තිබී පසුව එතනින් සිරුරේ ඇටකටු පමනක් ගොඩ ගෙන ඒවා හොරණ තිබ්බටුගොඩ පොදු සුසාන භූමියේ වළදැමූ බවයි.

අධිකරණ අවසරය මත හොරණ, තිබ්බටුගොඩ පොදු සුසාන භූමියේ අද කැණීම් ද ඒ අනුව සිදුකෙරුණා.

වළදමා තිබූ සිරුර ගොඩගත්තේ මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සේවකයන් විසින්.

සිද්ධිය දැකබලා ගැනීමට ප්‍රදේශවාසීන් ද බොහෝ පිරිසක් තිබ්බටුගොඩ පොදු සුසාන භූමිය වෙත පැමිණ සිටියා.