හංවැල්ල,ආටිගල, පංසල පාර ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට බාධා කර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුකළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ නිවසේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමටයි හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එලෙස එම නිවසට ගොස් ඇත්තේ.

එහිදි නිවසේ සිට පුද්ගලයන් දෙදෙනෙකු විසින් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පිහියකින් කපා පහර දී තුවාල සිදු කර තිබෙනවා.

ඒ අතරවාරයේ නිවසේ සිටි කාන්තාවක් විසින් එම පොලිස් නිලධාරියෙකු සපා කා තුවාල සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව එක් පොලිස් නිලධාරියෙකුගේ පිට ප්‍රදේශයේ කැපුම් තුවාල හා වම්උරහිසේ තැලුම් තුවාල ද, අනෙක් නිලධාරීයාගේ වම් අතේ මැණික් කටුව අසල කාන්තාව විසින් සිදු කරන ලද හැපුම් තුවාල හේතුවෙන් නිලධාරීන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේ හිමිකරු, ඔහුගේ පුත්‍රයා සහ පුත්‍රයාගේ බිරිඳ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

ඒ, රාජකාරියට බාධා කිරිම, රජයේ නිලධාරියෙකුගේ අණට අකීකකරු වීම, තියුණු ආයුධ වලින් කපා තුවාල සිදු කිරීමේ චෝදනා යටතේයි.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු පොලිසිය හමුවේ පවසා ඇත්තේ තමන්ට පොලිස් නිලධාරීන් පහර දුන් බවයි.

ඒ අනුව ඔහුට ද ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බවට ප්‍රකාශ කිරිම හේතුවෙන් එම සැකකරු ද මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔහුගේ තත්වය බරපතළ නොවන බවයි හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.