මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයට අනුව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම අතිශය දුර්ලභ කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා ඒ බව පැවසුවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ වෙසක් දින පණිවුඩය පහතින්.
2026.05.30
තමන්ගේ පිහිට තමන්මය ඒ හැර අන් මගක් නොමැත.
බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන තවත් වෙසක් දිනයක් අපි සමරමු.
ලෝකවාසී ජනතාව ආමිස පූජාවෙන් හා ප්‍රතිපත්ති පූජාවෙන් සමරන වෙසක් දිනය උදාර ශාස්තෘවරයකු වෙනුවෙන් සිදුකරන කෘතවේදීත්වය පිළිබඳ මහා පූජාවක් ද වන්නේය. එම පූජාව සැබෑ පූජාවක් වනුයේ බුදුරජාණන් වහන්සේම පෙන්වා දුන් පරිදි උන්වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගය අප අවබෝධ කරගනිමින් ඒ තුළ කටයුතු කරන ප්‍රමාණයට යි.
මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රය පෙන්වා දුන්නේ මිනිසකු ලෙස ඉපදීම ‘අඳ කැස්බෑවෙකු වසර සියයකට වරක් මුහුදේ ගැඹුරේ සිට මතුපිටට නැගී සුළඟින් යොමු කරන ලද මුහුදු රළ මත පාවෙන ලී විය ගහක සිදුරකින් අහස බලන්නාක්’ මෙන් දුර්ලභ කරුණක් ලෙස යි. මේ දැක්ම තුළ බුදු දහම මනුෂ්‍යත්වයට විශාල වැදගත්කමක් ලබා දී ඇත. සෑම මිනිසකුටම වටිනාකමක් ලබා දී තිබේ. එසේ වුව ද මිනිසුන් ආගම්, ජාති, කුල ආදී වශයෙන් බෙදී සිටි. මේ සියලු බෙදීම් අර්ථ විරහිත ලෙස බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. සියලු මිනිසුන් එක හා සමාන බව උන්වහන්සේ සිය ධර්මය තුළ විවිධ අවස්ථාවල දී පෙන්වා දී තිබේ.
අම්මට්ට සූත්‍රය, අස්සලායාන සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය සහ වසල සූත්‍රය වැනි සූත්‍ර දේශනා අධ්‍යනයන් තුළින් එය අපට වටහා ගැනීමට හැකිය. බුදුන් වහන්සේගේ මෙම මග පෙන්වීම් ඉගැන්වීම් සමාජය තුළ වඩාත් වැඩි වැඩියෙන් ප්‍රචලිත කිරීම වර්තමානයේ අතිශයින්ම වැදගත් වූ කාර්යයකි. වර්තමාන ලෝකය මුහුණ දී ඇති බොහෝ ප්‍රශ්න මතුව ඇත්තේ මනුෂ්‍ය වර්ගයා වෙත හිමි මානුෂීය වටිනාකම් ලබා දීමට අපොහොසත් වීම තුළ ය. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශ්ව ප්රකාශනයේ පළමු වගන්තියේ සඳහන් වන්නේ මිනිසුන් නිදහසේ උපදින බවත් අයිතිවාසිකම් හා ගරුත්වය අතින් සියලු මිනිසුන් සමාන වන බවත්ය. බුදුන් වහන්සේගේ මග පෙන්වීම තුළ මෙය පැහැදිලිවම පෙන්වා දී තිබේ.
මෙවර වෙසක් දින සැමරුමේ දී අප ගැඹුරින් අවධානය යොමු කළ යුත්තේ බුදුන් වහන්සේ වදාළ දහමේ හරය අපගේ ජීවිතවලට ළඟා කර ගැනීම සඳහා වූ මාර්ග පිළිබඳව යි. ඒ පිළිබඳ වූ වගකීම අප තුළ ම රැඳී පවතින බවත් තමන්ගේ පිහිට තමන්මය ඒ හැර අන් මගක් නොමැති බව ධම්මපදයෙන් පෙන්වා දී ඇති මහා පාඩම මෙවර වෙසක් දිනයේ දී අපේ ජීවිතයට ළඟා කර ගැනීමට සියලු දෙනාටම අදිටනක් ඇති වේවායි මෙම වෙසක් දිනයේ දී මම ප්‍රාර්ථනා කරමි.
ශ්‍රී ලංකාවාසී ලෝවාසී ජනතාවට ශ්‍රී සුබ වෙසක් මංගල්‍යක් වේවා !!
සජිත් ප්‍රේමදාස,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක




