ආසියානු රයිසින් ස්ටාර් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයකදී බංගලාදේශ A කණ්ඩායම පරාජය කරමින් කඩුලු 7ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ A කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 145ක් පමණයි.

ඒ අනුව තරඟය ජයගැනීම සඳහා ලකුණු 146ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ඉනිමේ 22වන පන්දුවාරයේ 5වන පන්දුවේදී තරගය ජය ගත්තා.

ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් ඉහළම දක්ෂතා දැක්වූ රවිදු ප්‍රනාන්දු ලකුණු 30ට කඩුලු 4යි.

නිශාන් මධුශංක පන්දු 58දී නොදැවී ලකුණු 51ක් ලබාගනිමින් පිත්තෙන් ඉහළම දක්ෂතා  දැක්වූවා.

මෙම තරගාවලියේ මීට පෙර පැවති තරගවලදී ඇෆ්ඝනිස්තාන A සහ හොංකොං කණ්ඩායමද පරාජය කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් අපරාජිතව A කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටිනවා.