සෞදි අරාබිය විසින් මෙරට තරුණයෙකු වන ආනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඞුවම වහාම අවලංගු කළ යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසනවා.

අදාළ චෝදනාව සම්පූර්ණයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මත පදනම් වී ඇති බැවින් ඒ අනුව ඔහු වහාම කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවයයි එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.

මොහොමඩ් නබි තුමාට අපහාස කරන බවට සැලකෙන අදහසක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පල කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සිවරාසා අනෝජන්ට සෞදි අරාබියානු අභියාචානධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබුවා.

හුදෙක් තම අදහස් ප්‍රකාශ කිරිම හේතුවෙන් කිසිවෙකු සිරගත නොකළ යුතු අතර මරණ දඬුවම වැනි දඬුවමකට ලක් නොකළ යුතු බවයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පෙන්වා දෙන්නේ.

මේ අතර සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා, සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඔහු රදවා සිටින බන්ධනාරය වෙත අද දිනයේ යාමට නියමිතව තිබෙනවා.

එම බන්ධනාගාරයේ රදවා සිටින තවත් සිරකරුවෙකු සිදුකළ පහරදීමකින් අනෝජන් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා එලෙස එම බන්ධනාගාරය වෙත යාමට නියමිත බව වාර්තා වුණා.

මේ අතර සිවරාසා අනෝජන්ට එරෙහිව පනවා ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා සෞදි අරාබියාවට ගොස් සිටින මෙරට නියෝජිත කණ්ඩායම අද දිනයේත් ඒ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට නියමිතව තිබෙනවා.

ලබන 17 වන දිනට පෙර අනෝජන්ගේ අභියාචනය ඉදිරිපත් කිරීමටයි එම නියෝජිත කණ්ඩායම සූදානම් වන්නේ.