හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ලබන 12 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක් සිදුකර ඇති බවට වාර්තා පළ වනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන 2013 ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාදීමට ඔවුන් දෙදෙනාට දැනුම් දී ඇති බවයි එම වාර්තාවල දැක්වුණේ.

පළ වන එම වාර්තා සම්බන්ධයෙන් නෙත් නිවුස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි එම කොමිසම මෙතෙක් නිල වශයෙන් දැනුම් දීමක් සිදු කර නොමැති බවයි.
මේ අතර 2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වුණා.

එම සිද්ධියට අදාළව සැකකාර කපිල චන්ද්‍රසේන මහතා පසුගිය මාර්තු 12 වනදා අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් අතර පසුව මැයි මස 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

එහිදී එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.