හොරණ, බටගොඩ සෙනෙහසේ කැදැල්ල නිවෙස්නයේ හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 13 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් අයෙකු මිය යාම හේතුවෙන්.
පසුගිය 3 වනදා පස්වරුවේ එම නිවෙස්නයේ හටගත් ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 5 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
එම අනතුර සිදුවු අවස්ථාවේ සෙනෙහසේ කැදැල්ල නිවෙස්නයේ පුද්ගලයන් හැත්තෑ දෙදෙනෙකු නවාතැන් ගෙන සිට ඇති බවයි වාර්තා වුණේ.
ඉන් පුද්ගලයින් දස දෙනෙකු ගින්නට හසුව එම ස්ථානයේදීම මියගොස් තිබුණා.
ගින්නට හසු වූ පුද්ගලයන් 50 කට අධික පිරිසකගේ දිවි බේරාගත්තේ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්වයි.
බේරා ගැණුනු පිරිස පළමුව බටගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ රදවනු ලැබුවා.
ඉන් අනතුරුව එම පිරිස සෙනෙහසේ කැදැල්ල නිවෙස්නයේ ශාඛාවක් වන ගල්පාත ප්‍රදේශයේ පිහිටි නිවෙස්නයක් වෙත මාරු කෙරුණා.
ඒ, යුද හමුදාවේද සහායෙන්.
මේ අතර ගින්න හටගත් අවස්ථාවේ සෙනෙහසේ කැදැල්ල නිවෙස්නයේ රැදි සිටි පිරිස සහ දිවි බේරාගත් පිරිස සම්බන්ධයෙන් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.
ඒ අනුව එම පිරිසෙන් වැඩිහිටියන් අට දෙනෙකු රජය මගින් පාලනය වන කතරගම පිහිටි වැඩිහිටි රැකවරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ සකුන්තලා රුක්මාලි රැටියල මහත්මිය පැවසුවේ.
හොරණ, බටගොඩ සෙනෙහසේ කැදැල්ල නිවෙස්නය පවත්වාගෙන ගොස් ඇත්තේ රජයේ කිසිදු ආයතනයක ලියාපදිංචියක් නොමැතිව බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පැවසුවේ.
හොරණ, බටගොඩ සෙනෙහසේ කැදැල්ල නිවෙස්නයේ හටගත් ගින්න සම්බන්ධයෙන් එම නිවෙස්නයේ අධ්‍යක්‍ෂවරයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කෙරුණා.
එහිදි අධිකරණය නියෝග කළේ සැකකාර අධ්‍යක්‍ෂවරයා ලබන 11 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.




