හෝමාගම පොලිස් භාරයේ සිටියදී තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හෝමාගම මහේස්ත්රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරෙනවා.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ දිනයේ එම නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබුවා.
එම නිලධාරියා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ ඊට පෙර තහනම් කර තිබුණා.
එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරයාගේද වැඩ තහනම් කර තිබෙනවා.
ඒ, පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතාගේ නියමයෙන්.
සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමේ චෝදනාව යටතේ සිදුකරන විමර්ශනවලට අදාළව එලෙස එම නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.
රාත්රී මුර සංචාරයේ යෙදී සිටි හෝමාගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් 25වනදා රාත්රී කිරිවත්තුඩුව, මූනමලේවත්ත, 17වන පටුමගේ පදිංචිව සිටි අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ, අයිස් මත්ද්රව්ය ද සමගයි. එලෙස අත්අඩංගුවට ගැනුණු තරුණයා 29වන වියේ පසුවූ ඉෂාර හර්ෂ නමැත්තෙක්.
සිර මැදිරිය තුළදී ඔහුට පහරදීම් සිදුවූ බවට ඔහුගේ ඥාතීන් චෝදනා කර තිබුණා.
කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ ඇතිවූ අසනීප තත්වයක් මත ඔහු රෝහල්ගත කෙරුණු බවයි.
රෝහල් ගත කිරීමෙන් පසු ප්රතිකාර ලබමින් සිටියදී එම තරුණයා මියගියා.
මියගිය එම තරුණයාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද පස්වරුවේ මූණමලේවත්ත සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව එම ප්රදේශයට අද දිනයේ විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇති බවයි පොලීසිය පැවසුවේ.
මේ අතර 2020 වසරේ සිට 2025 මාර්තු මාසය දක්වා කාලය තුළ පොලිසිය අත්අඩංගුවට ගැනීමේදී සහ පොලිස් අත්අඩංගුවේ සිටියදි පුද්ගලයන් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. ඉන් පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොලිස් අත්අඩංගුවේ සිටියදී බවයි එම කොමිෂන් සභාවේ කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසුවේ.




