ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායකයක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයා විසින් පත්කරනු ලබන අධිකරණ වෛද්‍ය නිලධාරීන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ යුතු බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.
අධිකරණය එලෙස නියෝග කළේ පොලිසිය විසින් කරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්.
සිදුකෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලබන 12වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද එහිදී නියෝග කෙරුණා.
මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර හමුවූයේ අංක 38, පේදීරිස් මාවත කොල්ලුපිටිය ලිපිනයේ පිහිටි ඔහුගේ ඥාති නිවසකදීයි.
පොලිස් නිල සුනඛයන් ද යොදාගනිමින් පොලිස් නිලධාරීන් කළ ස්ථානීය පරීක්ෂණ සහ මහේස්ත්‍රාත්වරයා පැමිණ සිදුකළ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර ඊයේ දහවල් අපරාධ ස්ථානයෙන් බැහැරට රැගෙන ගියා.
මරණය සිදුව ඇත්තේ කෙසේදැයි තවමත් තහවුරු කර නොමැති අතර ඒ පිළිබඳ අදහසක් ලබාගත හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වූ කුප්‍රකට එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතා චෝදනා ලබා සිටියා.
ඊට අදාළව කලක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අතර ඔහු ඇප ලබා නිදහස් වූයේ මීට දින කිහිපයකට පෙරයි.
එහෙත් මුදල් ගෙවා ඇපකරුවන් ලබාගෙන අධිකරණය නොමඟ යැවීමට උත්සාහ කිරීම හේතුවෙන් කපිල චන්ද්‍රසේන මහතා යළි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබුණා.
ඔහුගේ මියගිය සිරුර හමු වූයේ එවැනි පසුබිමකයි.



