ඉන්ධන මිල ඉහළ යාම හමුවේ සිය ජීවිකාව පවත්වාගෙන යාම සදහා තමන්ට දැරීමට සිදුව ඇති මුදලද තවත් ඉහළ යන බව ජනතාව පවසනවා.
නෙත් නිවුස් කළ ක්ෂේත්‍ර චාරිකාවකදි ජනතාව මෙන්ම රියදුරන් කියාසිටියේ තමන් පිළිබදව ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.
"කියනවා විතරයි, කියන්න පුළුවන් කයිය නායකයන්ට ඕනෑ තරම්. කයිය විතරයි වැඩ නෑ. ආණ්ඩුව නං ඉතින් වැඩ කරලා දුවන්නේ නෑ මහත්තයා. එහෙම මේ තියෙන විදියට ඉතින් අමාරුයි, ආර්ථිකය ගොඩක් අමාරුයි."
"දුකයි ඉතින්, කියන්න කණගාටුයි ඉතින්. හැමදේම මං මං... ආර්ථිකය මට නම් තේරෙන්නේ එහෙම තමයි."
"අසාධාරණයි. ආයේ කවදාවත් අඩු වෙන විදියක් නෑනේ ඉතින්, පුතේ. අපි ලොකු අමාරුවක වැටෙනවා දැන්. දැන් අපිට තෙල් ප්‍රමාණය... තෙල් ප්‍රමාණය පිච්චෙනවා වැඩියි, ආදායමක් එකතු වෙන්නේ නෑ මහත්තයා අපිට එහෙම දිව්වට. ඒකයි වෙන්නේ. ආණ්ඩුව නං ඉතින් වැඩ කරලා දුවන්නේ නෑ මහත්තයා. එහෙම මේ තියෙන විදියට ඉතින් අපි තමා අමාරුවේ, ආර්ථිකය ගොඩක් අමාරුයි. මොනාවත් අඩුවක් වෙන්නේ නෑනේ අපිට. එන්න එන්න වැඩියි. එයා ඒ දිනවල ඕක සහනාධාරයක් හරි දීලා මහත්තයා, මොකක් හරි සහනයක් කරන්න පුළුවන්. ඒක කරන්නේ නෑනේ මේ කට්ටිය. ඒ දවස්වල නම් කොහොමහරි සහනාධාරයක් හරි දීලා මොනවා හරි කරා. දැන් ඒකත් නෑනේ අපිට."
"ඉතින් මේ රජයේ යන වැඩපිළිවෙල හොඳයිනේ. ඒක නිසා මම නම් ඉතින් මේ ගැන පසුතැවෙන්නේ නෑ. ආණ්ඩුවේ වැඩපිළිවෙල ගොඩක් හොඳයි, ඇත්තටම හොඳයි. මට අස්වැසුම හම්බවුණා, මගේ අස්වැසුම කැපුවා. මං ඒතකොට ආණ්ඩුවට බනින්නේ නෑ. මේ ආණ්ඩුව හොඳයි. අපිට නෙමෙයි නැති බැරි මිනිස්සුන්ට තමයි දෙන්න ඕනේ. ඔව් ඉතින් දැන් අපිට දැන් මේ ප්රවෘත්ති බලනකොට ඒවත් එක්ක තේරෙනවනේ දැන් මේ රටේ තියෙන තත්ත්වය. ලංකාවේ නෙමෙයි රට බලනකොට හැමතැනම යුද්ධනේ. ඉතින් ඒකත් එක්ක බලනකොට ඉතින් සාධාරණයි තෙල් මිල වැඩි වෙන එක. ඉතින් ඒ ගැන මම නම් ඇත්තටම සතුටු වෙනවා."
"ජෝක්නේ. ලෝක අර්බුදයක් තිබ්බේ අද ඊයේ. ඒක තේරුම් ගන්න එපැයි මිනිස්සු, නේද? ඒ දවස්වල කොහොමද කරේ, දැන් අද කොහොමද කරන්නේ? දැන් නිදියගෙන එළිවෙනකොට ඔක්කොම වෙනස්."
මේ අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමීම හමුවේ ත්‍රීරෝද රථයකට රුපියල් 100 ක පමණ අමතර මුදලක් දෛනිකව වැය කිරීමට සිදුව ඇතැයි ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් එල් රෝහණ පෙරේරා මහතා පැවසුවේ තමන්ට මුහුණ දෙන මෙම ගැටළුව සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග කඩිනමින් සාකච්ඡා කරන බවයි.
"යලිත් රජය විසින් ඉන්ධන මිල සංශෝධනය කරලා තියෙනවා අද දවසේ සිටන්. හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕනේ 'අන්තෝ ජටා බහි ජටා' කියලා. කෝටි 4,100ක් සහනාධාර වෙනුවෙන් ඉදිරි මාස තුනට වෙන් කරද්දී හැම ඉන්ධනයකටම මිල වැඩි කරලා තියෙනවා. හැබැයි සුපිරි ඒවට, සුපිරි වාහන වල ඒවා වැඩි කරලා නෑ. මේ රටේ ත්‍රිරෝද රථ රියදුරන් තරම් පොහොසත් මිනිස්සු තවත් නෑ කියලා තමයි රජය හිතාගෙන ඉන්නේ. ඉතින් මේ විදියට ගත්තහම මේ රජය කොහෙටද සහනාධාර දෙන්නේ? දකුණු අතින් සහනාධාරයක් දීලා, වම් අතින් හිමින් සැරේ මැජික් එකක් කරලා ගන්න විදියක් නෙමෙයි තියෙන්නේ. දවසකට මේ විදියට ගත්තහම රුපියල් 15කින් අද වෙනකොට ත්‍රිරෝද රථ භාවිතා කරන ඔක්ටේන් 92 ඉන්ධන මිල වැඩි කරලා තියෙනවා. ඒ වැඩි කිරීම තුළින් ඇත්තටම මේ වෙනකොට ත්‍රිරෝද රථයකට අමතරව දවසකට රුපියල් 100ක විතර මුදලක් වැය කරන්න වෙනවා. ඒක අපි ඇත්තටම ගණන් හදලා බැලුවොතින් එහෙම ත්‍රිරෝද රථ ලක්ෂ 10කට විතර — මිලියන 1.3ක් තියෙනවා ලංකාවේ ත්‍රිරෝද රථ — ඒකෙන් ලක්ෂ 10කට විතර ගත්තොතින් එහෙම, මේ ආණ්ඩුව දවසකට ත්‍රීවීල් රියදුරන්ගෙන් විතරක් මිලියන 1,200ක් අය කරගන්නවා. කොහොමද සහනාධාරය? දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා හෙට අනිද්දාම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිතුමාව මුණගැහිලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා දැනුවත් වෙන්න."
මේ අතර ඩිසල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.
"මේ ජාතික ප්‍රතිපත්තිය අනුව මේක අඩු වැඩිවීමක් මෙතන සඳහන් කරන්න බෑ අර ප්‍රතිශතය අනුව. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් කරද්දී පොදු ප්‍රවාහනයට ලොකුවට බලපානවා. මොකද එක එක ගැටලු මතු වෙනවනේ. මේ කාලයක් බස් ගාස්තු වැඩි කරලා ඒක සීමාවල තියෙනවා. අපි ඒ බස් ගාස්තු වැඩි කිරීමේදී අවදානමට ගානක් තියලා ඉදිරියට අරන් නෑ. එතකොට මේ ඩීසල් 10ක් වැඩි වෙනවා කියන්නේ අපිට සාමාන්‍යයෙන් ලීටර 150ක් විතර ගහන කෙනෙකුට රුපියල් 1,500ක්, 2,000ක් ඊට වඩා යන අයට ඉතින් වෙනවා. එතකොට මේකේ අපි පවත්වාගෙන යද්දී ගැටලු මතු වෙනවා ඉතින්. එකක් දවසකට බස් ගාස්තු වැඩි වෙලා අපි තැනක් හදාගෙන බස් ධාවනය කරද්දී මේක පෞද්ගලික අංශයට පොඩ්ඩක් දැනෙනවා. මොකද රජයේ ප්‍රවාහනයටත් දැනෙනවා. අපි හිතන්නේ මේක යම්කිසි මට්ටමකදී දෙපැත්තම ඔය වැඩිවෙන ඔය කීය ක් වැඩි වුණත් කමන්නේ නෑ. ඒ වෙනුවෙන් පොදු ප්‍රවාහනයටත් ඒ ගාස්තුව වැඩිවෙන විදිහට හැදුවා නම්... එතකොට මේ රුපියල් 10ක් වැඩි කරලා නෙමෙයි, තේරුමක් නෑනේ. ජාතික ප්‍රතිපත්තිය අනුව සත පහක්වත් මේ බස් ගාස්තුවට වැඩි කරන්න ක්‍රමයක් නෑ. එතකොට ඒවා කරද්දී මං හිතන්නේ මේ රුපියල් 10ද, 20ද, 30ද, 50ද, 100ද කියන එක නෙමෙයි ප්රශ්නය. එතන ඒක ඒ ප්‍රතිශතය උඩ අනෙක් පැත්තත් පොදු ප්‍රවාහනයට බලලා වැඩි කරන තැනුනොත් තමයි හොඳ."
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ සුපිරි ඩීසල් මිල ඉහළ දැමුණේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි.
ඒ අනුව ඩීසල් මිල ලීටරයක් රුපියල් 10 කින් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව ඩීසල් ලීටර් එක නව මිල රුපියල් 392ක්.
සුපිරි ඩීසල් මිල ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 50 කින්.
ඒ අනුව එහි නව මිල රුපියල් 528ක්. ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් 15 කින් ඉහල නංවා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 414ක් වනවා.
කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සහ භූමිතෙල් මිල සංශෝධනය නොකළ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබෙනවා.




