කැලණි ගඟ ද්රෝණියේ ඉහළ ධාරා ප්රදේශවලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ඉදිරි පැය 24 තුළ කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
මේ හේතුවෙන් රුවන්වැල්ල, සීතාවක, දොම්පෙ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත්බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් පසු විය යුතු වනවා.
තවදුරටත් වර්ෂාව අධික වුවහොත් හංවැල්ල ප්රදේශයෙන් පහළ කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්රදේශ වෙතද මෙම ගංවතුර තත්ත්වය ව්යාප්තවීමට ඉඩ ඇති බැවින්, අදාළ ආපදා කළමනාකරණ අංශ මේ සම්බන්ධයෙන් අවශ්ය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.
මේ අතර මී ඔය ගංගා ද්රෝණියේ පිහිටි තබ්බෝව ජලාශයට මේ වන විට ලැබෙමින් පවතින ජල ප්රමාණය පාලනය කිරීම සඳහා එම ජලාශයේ වාන් දොරටු 8ක් තවදුරටත් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව වාන් දොරටු 4ක් අඩි 2, දොරටු 2 අඩි 1.5, දොරටු 2 අඩි 1, බැගින් විවෘත කර මී ඔය වෙත තප්පරයට ඝන අඩි 2,860 ක ජල ප්රමාණයක් නිකුත් කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව ජලාශයේ පහළ ප්රදේශවල පදිංචි ජනතාව සහ මී ඔය ගංගා ද්රෝණිය දෙපස පදිංචි ජනතාව ගංගාවේ ජල මට්ටම් වෙනස්වීම් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ මගින් නිකුත් කරන නිවේදන අනුව කටයුතු කිරීම ඉතා වැදගත් වනවා.
මේ අතර අත්තනගලු ඔයේ ජල මට්ටද ඉහල යමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනය පහතින්.





