නව ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, පළමු වරට ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදුවනවා.

ඒ අරලියගහ මන්දිරයේදී.

මෙම පත්වීම් ප්‍රදානය සමඟ දීර්ඝ කාලයක් තිස්සේ ග්‍රාම නිලධාරී සේවයේ පැවති ගැටලු රාශියක් නිරාකරණය කරගැනීමට අවස්ථාව උදා වන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පැවසුවේ.

මීට පෙර විවිධ බලපෑම් මත බඳවා ගැනීම් සිදු වුවද, වත්මන් රජය යටතේ විභාග ප්‍රතිඵල සහ සම්මුඛ පරීක්ෂණවල කුසලතාවයන් පමණක් සැලකිල්ලට ගනිමින් සුදුස්සන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය සක්‍රියව ක්‍රියාත්මක කර ඇති බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවා.

ග්‍රාමීය මට්ටමේදී පවතින බරපතළ නිලධාරී හිඟය සහ සමහර ස්ථානවල එක් ග්‍රාම නිලධාරීවරයෙකුට වසම් දෙකක වැඩ ආවරණය කිරීමට සිදු වීම වැනි ගැටලුවලට මෙම 1,540 දෙනා බඳවා ගැනීමත් සමඟ යම් ප්‍රමාණයක විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කෙරෙනවා.