බිත්තර මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් එය පාලනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට බිත්තර නිෂ්පාදකයන් සහ බිත්තර තොග වෙළදුන් පසුගියදා වෙළද අමාත්‍යංශයට කැඳවා තිබෙනවා.

වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ද එක්ව සිටිය.

උත්සව සමයේ පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට බිත්තර ලබාදිය යුතු බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එහිදී අවධාරණය කර ඇත්තේ.

බිත්තර නිෂ්පාදකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඒ අනුව බිත්තර නිෂ්පාදකයන්ගේ පිරිවැය ගැටලු සම්බන්ධයෙන් ගත හැකි විඳුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශව සමග ලබන 23 තවත් සාකච්ඡාවක් පැවැත්වීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

මීට සති දෙකකට පමණ පෙර පහළ මට්ටමක පැවති බිත්තර මිල පසුගිය දින කිහිපය තුළ සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බව නිරීක්ෂණය වුණා.

ඒ අනුව වෙළදපොලේ බිත්තරයක මිල මේ වන විට රුපියල් 47ක් පමණ දක්වා වැඩි වී තිබෙනවා.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි වෙළද අමාත්‍යාංශය පැවසුවේ.