අයවැය තුන්වන වර කියවීම හෙවත් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය දැන් පැවැත්වෙනවා.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විවාදය ආරම්භ කළා.

"දැන් ලස්සනම එක තමයි, බැටළුවන් 2,000ක් ආනයනය කරනවා ඇමතිතුමා. මේකේ තියෙනවා. බිලියන එකක් වෙන් කරනවා. එක බැටළුවෙකුට ලක්ෂ පහයි. අන්න නියෝ ලිබරල් වෙනස. ඒක තමයි ගජමිතුරු පෝෂණය. මොකද ඇයි දැන් මේ බැටළුවෝ ගේන්නේ හම ගන්නද? මේ බැටළුවෝ ගේන්නේ හම ගන්නද? දැන් කවුද බටළු මස් ඉල්ලුවේ? අපේ ලග්ගල පුංචිරාළ මාමලාද? ඈ? එහෙම නැත්නම් දේවහූවේ පළාගල පැත්තේ නිශ්ශංකලාද? එහෙමත් නැත්නම් රත්තොට වතුවල ජයසීලන්ලාද? නැත්නම් මාතලේ නියාස්ලාද? කවුද ඉල්ලුවේ බැටළු මස්? මේක තමයි ගජමිතුරු පෝෂණය. දුප්පතාට බඩ්ඩු, දරුවන්ට ත්‍රිපෝෂ නෑ, පෝෂණ වැඩසටහනට සල්ලි වෙන් කරන්න බැහැ. හැබැයි ගජමිතුරු පෝෂණය සිද්ධ වෙනවා. ඒවා ඉතින් නල්ල මලේ පරිවර්තනය. එතකොට මේකද මේ රටේ මිනිස්සු ඉල්ලුවේ? ඇත්තටම මේ රටේ මිනිස්සු ඉල්ලුවේ ගරු කථානායකතුමනි, සමාජ සුබසාධනයක් දෙන්න කිව්වා. ඊළඟට බෙහෙත් ටික දෙන්න කිව්වා. දරුවන්ට පෝෂණය කරගන්න පුළුවන් විදිහට වටපිටාවක් හදන්න කිව්වා. තරුණයෝ රැකියා ඉල්ලුවා. මෙන්න මේවා තමයි ඔයගොල්ලෝ දීපු..."

ඉන් අනතුරුව ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විවාදය ආරම්භ කළා.

"මේ රටේ විපක්ෂය දැඩි වේදනාවෙන් සහ ඔවුන් භීතියකින් තැතිගෙන වගේ බොහෝ විවේචන ගේන්නේ සාධනීය විවේචන නෙවෙයි. ඔවුන් ගෝරනාඩු නගන්නේ ප්‍රධාන කරුණු තුනක් පාදක කරගෙන. එකක් තමා ගරු කථානායකතුමනි, දශක ගණනාවක් මේ රටේ දූෂිත ප්‍රභූ පවුල් කීපයක් අතර තිබුණු පාලන බලය ජනතාවාදී පාලනයක් බවට පත් වුණා. මීට වසර දෙකකට පෙරාතුව මේ රටේ ජනතාව තීන්දුවක් ගත්තා ජනතාවාදී පාලනයක් නිර්මාණය කරන්න. ඒකෙන් කම්පනයට පත් පිරිස් මේ වෙනකොට කෑගහමින් ඉන්නවා, ගෝරනාඩු දෙමින් ඉන්නවා. කිසිදු සාධනීය විවේචනයකින් තොරව තමන් අතට අහුවෙන ඕනෑම දෙයකින් ගහන්න ආණ්ඩු පක්ෂයට ගහන්න බලනවා. ඒකට ප්‍රධාන එක හේතුවක් හැටියට තමයි මා හඳුනා ගන්නේ මේ දශක ගණනාවක් තිස්සේ දූෂිත පවුල් කීපයක් අතර තිබුණු පාලන බලය ජනතාවාදී පාලනයක් නැත්නම් ජාතික ජන බලවේගය ආණ්ඩුව අතට පත්වීම. දෙවෙනි කාරණය තමා මේ දශක කීපයක් පුරාවටම මේ රටේ මහජනයාගේ දේපළ කොල්ලකාපු දූෂිතයෝ දැන් කලබල වෙලා ඉන්නවා. මේ දූෂිතයන්ට සාධනීය විවේචනයක් නැති වුණාම මේ වගේ විවේචන කරනවා, ගෝරනාඩු කරනවා සහ අසත්‍ය ප්‍රකාශ කරනවා, සාහසික ප්‍රකාශයන් ඉදිරිපත් කරනවා."

කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමු දිනය වන අද දිනයේදී ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාල, රාජ්‍ය සේවා කොමිෂන් සභා ඇතුළු වැය ශීර්ෂ විසි එකක් විවාදයට ගැනෙනවා.

පාර්ලිමේන්තුව, මැතිවරණ කොම්ෂන් සභාව සහ ජාතික විගණන කාර්යාලය යන ආයතනවල වැය ශීර්ෂද ඒ අතරට අයත් වනවා.