ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව, සංචාරක වීසා උපයෝගි කරගනිමින් ශ්‍රි ලාංකිකයින් ඩුබායි හා මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමුකිරීමේ වරදට අත්අඩංගුවට ගත් රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා නැමැත්තා ජූනි මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
සැකකරු විසින් ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව ඊයේ දිනයේ කඩුවෙල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගැණුනා.
සැකකරු බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයෙකුද වන අතර, සමාජ මාධ්‍ය උපයෝගි කරගනිමින් මෙම ජාවාරම මෙහෙයවා තිබෙනවා. සංචාරක වීසා මගින් පුද්ගලයින් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමුකරන ප්‍රධාන ජාවාරම්කරුවෙකු වන මෙම පුද්ගලයා මීට පෙරද අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි අයෙකු බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ




