මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 80,905 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එම ඒකකය නිකුත් කළ වාර්තාවේ සඳහන්ය. ගතවූ දින 24 තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 25,530 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,135ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,140ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5574ක් වසරේ මේ දක්වා කාලය තුළ හඳුනා ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.

පළාත් වශයෙන් ගත් කළ බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 42,835ක්. දකුණු පළාතේ රෝගීන් 12,260ක් ද මධ්‍යම පළාතෙන් රෝගීන් 6924ක් ද වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පැවසුවේ.

පවතින ඩෙංගු අවධානම පිළිබද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික්ක ශාඛාවේ සභාපති අමිත් කුමාර මහතා අදහස් පළ කළා.

"අපිට මේ හැම අවස්ථාවෙම දකින්න තියෙන්නේ මිනිස්සුන්ගේ නොසලකා හැරීම තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. මේක ඇත්තටම රටපුරා බලපාන කිල්ලක් විදිහට බලපාගෙන මිනිස්සුන්ගේ මරණ, මිනිස්සුන්ව රෝගී කරගෙන පවත්වාගෙන යනවා. සැලකිල්ලක් දක්වන ප්‍රමාණයක් අපිට පෙන්නුම් කරනවා, නමුත් ඒක සැලකිය යුතු තත්ත්වයේ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. තමන්ගේ කුඩා කුඩා තැන්... ඒ කියන්නේ තමන්ට ඕනෑම පුද්ගලයෙකුට අස්කර ගන්න පුළුවන් පොඩි පොඩි තැන්වල තමයි මදුරුවෝ බෝවෙන ස්ථාන තියෙන්නේ. ඒ පිළිබඳව සැලකිල්ල මෙවුන්ගේ... මේ අවස්ථාවේදී අඩු බව තමා...

දැනට අපි ඩෙංගු මර්දන කටයුතු සම්බන්ධයෙන් සියලු රාජකාරි කටයුතු ඒ ආකාරයෙන්ම අඩුවක් නොකර කරගෙන යනවා. ඒ අවස්ථාවේදී අනෙකුත් රාජකාරි මේ අවස්ථාවේ වෙනදටත් පැහැර හැරීමක්, මඟහැරීමක් සිදුවෙමින් පවතිනවා. ජනතාවට කියන්න තියෙන්නේ, ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ බෝවෙන ස්ථානයක් අපි ඇවිල්ලා පෙන්වා දීලා ඒක ඒගොල්ලන්ට නිවැරදි කරගැනීමේ අවස්ථාවක් ලබාදෙයි කියලා.

මේ අවස්ථාවේදී අපි මතක් කරන්න ඕනේ අපි කිසිම අවස්ථාවක කිසිම අවශ්‍යතාවයක් නැහැ කරන්න රටේ මිනිස්සු සහ ඔබ වෙනුවෙන්. ඒක නිසා ඔබගේ ස්ථාන නිවැරදිව පවත්වාගෙන යාමේ කටයුත්ත තියෙන්නේ ඔබට. ඒක හරියට කරගෙන යනවාද නැද්ද කියන එක විතරයි අපි පරීක්ෂා කිරීමෙන් කරන්නේ. ඒ පරීක්ෂා කිරීමේදී ඔබ ඒ පිළිබඳව නොසලකා හැරීමේ භාවයක් දක්වලා තියෙනවා නම් අපි අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදුකරනවා."