ඩෙල්ෆ්ට් දූපත අසල ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදි අනතුරට පත් ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් මේ වනවිට ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බව නාවික හමුදාව පවසනවා.

අදාළ ධීවර යාත්‍රාව අද අලුයම 5 ත් 5.30 ත් කාලය තුළ අනතුරට ලක්ව ඇති බවට නාවික හමුදා වෙත තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ ඩෙල්ෆ්හි නාවික හමුදා කණ්ඩායම් කිහිපයක් නෞකා සහ ඩිංගි යාත්‍රා කිහිපයකින් එම ස්ථානයට ළගා වී තිබෙනවා.

ඉන් අනතුරුව අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයන් 11 දෙනා නිරුපද්‍රිතව මුදාගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

ඒ අනුව එම පිරිස ඩිංගි යාත්‍රා කිහිපයක් මගින් ගොඩබිම වෙත රැගෙන එමින් සිටිනවා.

ඔවුන් ගොඩබිමට රැගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු සදහා ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.

මේ අතර අනතුරට ලක්වූ එම ධීවර යාත්‍රාව ආරක්‍ෂික ස්ථානයක් කරා රැගෙන ඒමට කටයුතු කරන බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා.