ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සාහ කිරීමේ දී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද ඇපමත මුදා හැරුණා.

ඒ, උන්වහන්සේ වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

එහිදී එම නීතිඥවරයා අධිකරණයට කියාසිටියේ අධිකරණයේ මීට පෙර පෙනී නිසිටීම සම්බන්ධයෙන් තම සේවාදායකයා වන පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සමාව ඉල්ලා සිටින බවයි.

එහිදි ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම් එස් එම් සම්සුදීන් මහතා මහතා නියෝග කළේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් රුපියල් දස දහසක ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙසයි.

එමෙන්ම ඇපකරු විසින් ග්‍රාම නිලධාරී සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කෙරුණා.

මීට අමතරව අධිකරණයට හෝ නීතිපතිවරයාට අපහාසාත්මක වන ප්‍රකාශ සිදු නොකරන ලෙස පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට තරයේ අවවාදයක් කෙරුණු බවයි නඩුකරය ආවරණය කළ නෙත් නිවුස් නියෝජිත අමදෝරු අමරජිව පැවසුවේ.

මීළඟ නඩු දිනයේදි අධිකරණය හමුවේ අනිවාර්යයෙන් පෙනි සිටින ලෙස ද උන්වහන්සේට නියෝග කෙරුණා.

නඩුව නැවත කැදවීමට දින නියම කෙරුණේ ලබන ජනවාරි මස 6 වනදාටයි.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදි උන්වහන්සේ අද දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ අනුව ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ ඊයේ දිනයේ රැදවු උන්වහන්සේ අද ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප මත මුදා හැරුණා.

කෙසේවෙතත් රුවන්වැලි මහාසෑය අසල පසුගියදා හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් පසුගියදා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මත එම පිරිස රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ලබන 26 වනදා දක්වායි.

ඒ අනුව ත්‍රිකුණාමල සිද්ධියට ඇප හිමි වුණත් බලංගොඩ කස්සප හිමියන් ලබන 26 වනදා දක්වා තවදුරටත් බන්ධනාගාරගතව පසුවනවා.