“ ඒහිපස්සිකෝ ” ලෙස නම් කර ඇති සාම පා ගමන සදහා සහභාගී වීමට අමෙරිකාවේ වාසය කරන වියට්නාම් ජාතික පඤ්ඤාකර සහ රතනගුණ ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක්, ”ආලෝකා ” නැමති සුනඛයා ද , තවත් ගිහි පිරිසක් ද අද අලුයම දිවයිනට පැමිණියා.

නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ එම පිරිස තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට දිවයිනට පැමිණි බවයි.

ඔවුන් පිළිගැනීම සදහා ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ ” විශේෂ අමුත්තන්ගේ මැදිරිය ” වෙත පැමිණ සිටියා.

එහිදී “ ආලෝකා ” නැමති සුනඛයා ද , මෙම ගුවන් යානයෙහි අනෙකුත් ගුවන් මගීන් සමග මගී ආසනයක අසුන් ගෙන පැමිණ තිබුණා.

ඉන්පසුව ” ආලෝකා ” ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා ගෙන පැමිණි අතර, එහිදී ඔහුට ආහාර සදහා කටුනායක ගුවන් තොටුපොළ සත්ව නිරෝධායන ආයතනයේ වෛද්‍යවරුන් පිරිසක් විසින්, පාන වර්ග කිහිපයක් ලබා දීම සිදු කෙරුණා.

ඉන්පසුව එම වෛද්‍යවරුන් විසින් මෙම සුනඛයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවකට ලක් කර, ඔහුගේ ලේ සාම්පල කිහිපයක් ද ලබා ගෙන, නීත්‍යානූකූලව රට තුළට ඇතුළුවීම සදහා වූ පරීක්ෂණ ගනනාවක් ද සිදු කර , ඒවායේ වෛද්‍ය වාර්තා ද , කඩිනමින් පඤ්ඤාකර හිමියන් වෙත භාර දුන් බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

වෙනත් රටවලදී මෙවැනි පරීක්ෂා කිරීම් “ආලෝකා ” විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහෙත් ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ කාරුණිකභාවය, ඉහළ ආගන්තුක සත්කාර ” ආලෝකා ” සතුටට පත් කර තිබීම හේතුවෙන් ඔහු මෙලෙස පරීක්‍ෂණවලට එක්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම පරීක්ෂණ සිදු කෙරෙන අවස්ථාවේදී , ඔහුගේ හාම්පුතා වූ වියට්නාම් ජාතික පඤ්ඤාකර හිමියන් ද ඔහු සමගම සිටීමට කටයුතු කිරීම විශේෂත්වයක් වුණා.

එමෙන්ම ” ආලෝකා “ වෙනුවෙන් විශේෂ ගිලන් රථයක් ද අවශ්‍ය වුවහොත් භාවිතා කිරීම සදහා සූදානම් කර තිබූ අතර , ” ආලෝකා ” එහි ගමන් නොකර පඤ්ඤාකර හිමියන් සමග අනෙකුත් භික්ෂුන් වහන්සේලා ගමන් ගන්නා බස් රථය වෙත ගොඩ වී තිබෙනවා.

මෙම බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිස කටුනායක ගුවන් තොටුපොළ සිට විශේෂ රිය පෙරහැරකින් අත්තනගල්ල රජමහා විහාරස්ථානය වෙත වැඩම කෙරුණා.