2026 පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරඟයේදී ශ්‍රී ලංකාව ලකුණු 87ක අමිහිරි පරාජයක් ලැබුවා.
ඒ, සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේයි.
තරඟය එංගලන්තයේ බර්මින්හැම්හි දී පැවැත්වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන්නේ එංගලන්ත කණ්ඩායමයි.
ඔවුන් නියමිත පන්දු වාර 20දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 219ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 132ක් පමණයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකාව.
පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ඇරයුම් කළේ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විසින්.
එහෙත් එංගලන්ත තත්ත්වයන් සහ වර්ෂාව පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැතිව ගත් එම තීරණය නිවැරදි නොවන බව ක්‍රීඩා විචාරකයන් පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩ්කාවන් පන්දු රැකීමේදී සහ පන්දු යැවීමේදී සිදු කළ බරපතළ අතපසුවීම් ද තරඟ පරාජයට හේතුවක් වුණා.
විශේෂයෙන්ම එංගලන්ත ඉනිමේ මුල් භාගයේදී ඇමී ජෝන්ස් ලබාදුන් උඩපන්දු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් ගිලිහී යාම තරඟයේ තීරණයට ප්‍රබල බලපෑමක් ඇති කළ බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ.
එමෙන්ම, ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ආක්‍රමණශීලී රේඛාවක පන්දු යැවීමට අපොහොසත් වූ බවද විචාරකයන් පෙන්වා දෙනවා.
එසේ තිබියදී, ඩැනි වයිට්-හොජ් ගේ විශිෂ්ට පිතිහරඹය එංගලන්ත ජයග්‍රහණයට ප්‍රබල ශක්තියක් වුණා.
ඇය පන්දු 62කදී නොදැවී ලකුණු 105ක් රැස් කර ගත්තා.
මුලින් ලබා දුන් උඩ පන්දුව ශ්‍රී ලංකා පන්දු රකින්නන් විසින් අතහැරීමෙන් ලැබුණු අවස්ථාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගත් ඇමී ජෝන්ස් ගේ ඉනීමද එංගලන්ත ජයග්‍රහණයට ශක්තියක් වුණා.
ඇය රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 53 ක්.
ශ්‍රී ලංකා කණ්ඩායමට පරස්පරව එංගලන්ත ක්‍රිඩිකාවන් ගේ පන්දු රැකීම සහ පන්දු යැවීම ඉතා ඉහල මට්ටමක පැවතියා.
නිදහසේ පිත්ත හැසිරවීමට ඔවුන් ශ්‍රී ලංකා පිතිකාරණියන්ට කිසිදු අවස්ථාවක් දුන්නේ නැහැ.
නායිකා චමරි අතපත්තු දවා ගැනීමට ඩැනි වයිට්-හොජ් රැකගත් උඩපන්දුව ඉතාම විශිෂ්ට එකක්.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණේ හර්ෂිතා සමරවික්‍රම. ඇය ලකුණු 29ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා මැදපෙළ සුනුවිසුනු කළ ෆ්රේයා කෙම්ප් ලකුණු 21කට කඩුලු 4ක් දවාගත්තා.
මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරඟය ලබන අඟහරුවා පැවැත්විමට නියමිතයි.
ශ්‍රී ලංකාව එහිදී නවසීලන්තයට එරෙහිව තරග වදිනු ඇති.




